පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පණත් කෙටුම්පත ලෙස හැඳින්වූ පණත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුව වෙත දැනුම් දී තිබුණා.
පෙත්සම්කරුවන් 45කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන්, නීතිඥවරුන් 31 දෙනෙක් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබු මෙම පණත් කෙටුම්පත සම්බන්ධයෙන් රට පුරා මහත් කතා බහට ලක් වුණා.
පනතේ කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන නමුත්, අභියෝගයට ලක්කරන ලද පණත් කෙටුම්පතේ වගන්ති 31 ක්ම 2/3 තුනෙන් දෙකේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු මට්ටමේ පවතින සුවිශේෂ ඒවා බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබීම විශේෂත්වයක්.
“3,5,7,9,11,12,13,14,15,16,17,18,19,20,21,22,23,25,26,27,28,29,30,31,32,36,37,42,45,53 හා 56 වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 84.2 වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මතකළ යුතුය.“ යනුවෙන් එහි සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම තහනම් කිරීම (12 වගන්තිය)
අධිකරණයට අපහාසයට හේතු වන අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම(13 වගන්තිය)
අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම (14 වගන්තිය)
අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම (15 වගන්තිය )
ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම (16 වගන්තිය)
ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම (17 වගන්තිය)
මාර්ගගත ගිණුමක් මගින් හෝ මාර්ගගත ස්ථානයක් හරහා අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීමෙන් යම් තැනැත්තකුට වංචා කිරීම (18 වගන්තිය)
මාර්ගගත ගිණුමක් මගින් අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම (19 වගන්තිය)
සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන් ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතනාන්විතව ම නින්දා කිරීම (20 වගන්තිය)
කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම (21 වගන්තිය)
හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධියක් පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම ආදිය (22 වගන්තිය)
මාර්ගගත ගිණුමක් මගින් හෝ මාර්ගගත ස්ථානයක් හරහා ළමා අපයෝජනයක් කිරීම (23 වගන්තිය)
වරදක් සිදු කිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම (24 වගන්තිය)
කොමිෂන් සභාවේ විධානයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හැරීම (25 වගන්තිය)
බොහෝ විවේචනයට ලක්වූ, අර්ථ නිරූපණ දුෂ්කර වූ ඉහත වගන්තිද මෙම විශේෂ බහුතර සම්මතය අවශ්‍ය යැ යි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා තිබීම නිසා මෙම පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ආණ්ඩුවට හැකි වේ දැයි ප්‍රශ්නයක් මතුව තිබෙනවා.
මෙම පණත් කෙටම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ සිය විරෝධය පළ කරනු ලැබූ අතර ආණ්ඩුවට විශේෂ බහුතරයක් ලබා ගැනීම ගැටලුවක් වන බව පෙනී යනවා. මේ වන විට ජනාධිපතිවරයා සහ ඔහුට සහය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතරත් මතුව තිබෙන්නේ ආතතිමය වටපිටාවක්. මේ අනුව ආණ්ඩුවේ විශ්වාසය අභියෝගයට ලක් වෙන ආකාරයේ පණතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව ඉදිරිපත් නොවෙනු ඇති බවයි පෙනී යන්නේ.