උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම YJA හෙළා දකියි

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පොලිස් අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

කොළඹ පැවති උද්ඝා්ෂණයක් ආවරණය කරමින් සිටියදී මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම මූලික වශයෙන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කිරීමක් බව ඔවුන් පෙන්වා දෙනවා.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ විරෝධතා අවස්ථාවලදී පොලිසිය කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ගණනාවක් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා නිර්දේශ ගණනාවක් ලබා දී ඇති තත්ත්වයක් තුළ පොලිසියේ මෙම හැසිරීම අතිශය නිර්ලජ්ජිත බව එම ලිපියේ තවදුරටත් සඳහන් වෙනවා.

තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට දායක වූ සියලු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ වධහිංසා පනත යටතේත්, අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම, පහරදීම ඇතුළු තවත් වැරදි සම්බන්ධයෙන් සාමාන්‍ය අපරාධ නීතිය යටතෙත් පියවර ගන්නා ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය ලිපිය මගින් පොලිස්පති චන්දන වික්‍රමරත්නගෙන් ඉල්ලා සිටිනවා.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයාගේ අත්සනින් යුතු මෙම ලිපියේ පිටපත් මානව හිමිකම් කොමිසමට සහ ජාතික පොලිස් කොමිසම වෙතද යවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles