ඩබ්ලිව්.ඩී. අමරදේව – ලාංකේය සංගීතයේ ස්වර්ණ සලකුණ

” කලාවැව සීගිරිය ලෙන්දොර
තුමුල රන්වැලි සෑය අභියස
වඩා හිඳුවමි ස්නේහයෙන් ඔබ සදා මගෙ ජාතියට හිමි කොට.. “
– ( ඩබ්ලිව්.ඩී. අමරදේව )

රත්න ශ්‍රී විජේසිංහයන් තැනෙක එතුමා වෙනුවෙන් තබා තිබූ සටහනකි.

උතුරු ඉන්දියාවෙන් සංගීතඥයන් ආනයනය කර සිංහල ගීතයට තනු හදා ගත් යුගයක, සුනිල් ශාන්තයන්, ආනන්ද සමරකෝන් දෙදෙනා එක්ව දේශජ සංගීතයක්, ස්වතන්ත්‍ර ගී තනු කලාවක් පිළිබඳ කතිකාවක ඉන්නා මොහොතක අමරදේව නම්
අග්‍රගණ්‍ය සංගීතඥයා, මහා ගාන්ධර්වයා අපට ම ආවේණික වූ සංගීත මාර්ගයක් සොයා ගැනීමට උත්සුක වූවේය.

ඒ අනුව එතුමා උත්තර භාරතීය රාගධාරී සංගීතය මහා සම්ප්‍රදාය ලෙසට ද අපේ ජන සංගීතය චූල සම්ප්‍රදායක් ලෙසට ද පිළිගෙන මේ චූල සම්ප්‍රදාය අර මහා සම්ප්‍රදායෙන් පෝෂණය කර අපේ සංගීත සම්ප්‍රදායක් බිහි කළේ ය.

ජාතියේ අමර ස්වරය, සංගීත කලාවේ අමරණීය ලකුණ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත ඥානය මෙන් ම නිර්මාණාත්මක දායකත්වය ද මෙවැනි ලිපියකින් කතා කර අවසන් කිරීමට නොහැකි තරම් පුළුල් පරාසයක විහිද යන්නක් බව අපි දනිමු.

පසු කලක දී අමරදේව ලෙස කලාවේ නාමයෙන් උට්ඨානය ලබන වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා කුමරුවන් ඉපදෙන්නේ 1927 දෙසැම්බර් 05 වන ද මොරටුව කොරළවැල්ලේ දීය. ඒ හය දෙනෙකු ගෙන් යුත් පවුලක බඩපිස්සා ලෙස ය.

පියා වන්නකුවත්‍ත වඩුගේ ජිනෝරිස් වඩුකම ජීවන වෘත්තිය කරගත් නමුත් කලාවට ද බොහෝ ඇලුම් කළ අයෙක් ය. වයලීන් අලුත්වැඩියාවට ද දක්ෂයෙක් ය. “වෙන වැයුමට මා යොමු කළ ගුණැති කළණ පියෙනි” අමරදේවයන් ගේ මේ වදන් පෙළ එතුමා වෙනුවෙන් ය.

මෙත්තෝදිස්ත පල්ලියේ බැතිමත් කාන්තාවක වූ මව බලාපුවඩුගේ මැගී වෙස්ලියානු මැන්ඩිස් ගැයූ ගීතිකා කුඩා ඇල්බට්ට නිතර ම ඇසෙන්නේ ය.

“ගී ගැයුමට මා හුරු කළ සෙනේවන්ත මවුනි ” අමරදේවයන් ඒ බව සිහි කරන්නේ එලෙසින් ය.

මව මෙතෝදිස්ත වීම නිසා පල්ලියේ කැරොල් කණ්ඩායමට එක් වන්නට පුංචි ඇල්බට්ට ආරාධනා ලැබෙනවා සේ ම පියා බෞද්ධයකු වීම නිසා පන්සලේ දොරකඩ අස්න කීමට ද අවස්ථාව ලැබෙන්නේ වාසනාවකට මෙන්ය.

කෝතෝ නම් ජපන් වීණා වර්ගයක් වන ජපන් මැන්ඩලීනය පුංචි ඇල්බට්ගේ අතට ලැබෙන්නේ ඔහුගේ හත් වෙනි උපන් දිනය දවසේ පියාගෙන් තෑග්ගක් විදිහට ය.

ඒ දිනවල මොරටු ප්‍රදේශයේ තරුණ පිරිස අතර ජනප්‍රිය ම සංගීත භාණ්ඩයකි, ජපන් මැන්ඩලීනය. මෙම සංගීත පරිසරයත් ඇල්බට් ලද තෑග්ගත් ඔහුගේ සංගීත දිවියට තෑග්ගක් වන්නට ඇතැයි සිතිය හැකි ය.

පුංචි ඇල්බට්ගේ අයියා චාල්ස් පෙරේරා සංගීතය හැදෑරුවේ අගනුවර සංගීත සභාවෙනි.
අට හැවිරිදි ඇල්බට් කොරළවැල්ලේ වාග් වර්ධන සමිතියේ තිබූ සංගීත ප්‍රසංගයක දී සිය සංගීත දිවියේ තවත් පියවරක් තබන්නේ මේ අතර යි. ඒ අයියා ලියා, ඉගැන්වූ වාද්‍ය රචනා දෙකක් ඉදිරිපත් කිරීමත් සමග ය.

කොහොමටත් ඇල්බට්ට තිබුණේ සංගීතය මුහු වුණ සොඳුරු ළමා අවධියකි.

1930 පමණ වන විට සංගීතය විෂයක් ලෙස ගුරු විද්‍යාලවල ඉගෙනීමට තිබූ අතර අවට ගම්වල ගුරුවරු ඒ අයගේ වයලින් අලුත්වැඩියා කර ගැනීමට නිතර ආව ගියේ ජිනෝරිස් බාස්ගේ වඩුමඩුවට යි. තාත්තාත් අයියාත් වයලීන් සමග කරන මේ ආදරණීය ගනුදෙනුව දිහා පුංචි ඇල්බට් බලා සිටියේ කුතුහලයෙන් ය. ආසාවෙන් ය.

ගමේ ග්‍රැමෆෝන් යන්ත්‍ර තිබුණ ගෙවල්වලට ගොස් ඒවාගෙන් ගීත අසා රසවිඳින ඇල්බට් නිවසට එන්නේ තවත් වැඩකටයි. වඩු පට්ටලයට එන ඇල්බට් එහි තිබී සොයා ගන්නා ලී පෙට්ටියකි. ඒ උඩ තබන පොල් තැරියකි. පුංචි ඇල්බට්ට එය ග්‍රැමෆෝනයේ විවරය යි. ඉරටු කෑල්ලක් ගන්නේ ඉඳිකටුව වෙනුවට ය. ලී පෙට්ටිය උඩ තැබෙන්නේ සූරිය කොළයකි. දැන් ග්‍රැමෆෝන් එක ලෑස්ති අතර හොඳ ම ටික ඊළඟටයි. පුංචි ඇල්බට් පාඩම් කර ගත් ගී ගැයීම පටන් ගන්නේ ගමටම ඇසෙන්නටය.

කොරළවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසල පුංචි ඇල්බට්ගේ මුල්ම ගුරු ගෙදර විය. සංගීතකාමියෙකු වූ කු.ජෝ.පෙරේරා මුල් ගුරුතුමා පාසලේ සංගීත වැඩ වලට ද බාහිර ප්‍රසංග වලට ද චාල්ස් එකතු කර ගැනීමට පුරුදු වී සිටියේය.
ඔය නිසා ම පුංචි ඇල්බට්ට මුල් ගුරුතුමා සමග විශේෂ කෙනෙක් මුණ ගැසීමට යාමට අවස්ථාව ලැබෙන්නේ මේ අතර ය.ගොරකපොළ තොටුපළට ගොස් ගඟෙන් එගොඩ වී එදා ඔවුන් ගියේ කුමාරතුංග මුනිදාස සූරීන් බැහැ දකින්නටයි. ඒ අනුව එතුමාගේ ‘කව් රස’ නළුවෙහි කවි කියන්නට කුඩා ඇල්බට් තෝරා ගැනීම විශේෂයකි. ඒ මාතර බ්‍රෝඩ්වේ ශාලාවේදී, කුමාරතුංගයන්ගේ ‘දොරට වැඩුම’ කවි තනුවට අනුව කියන්නෙත් ඇල්බට් ය. පුංචි ඇල්බට්ට දැන් මයුර, තිසර වැනි සංදේශ කාව්‍ය කට පාඩම් ය.

හෙළ හවුලේ මේ ඇසුර නිසා ඇල්බට් ගේ භාෂා කුසලතාව ඔප වැටුණේ ඔහුත් නොදැනුවත්ව ය. පාසලේ දී ලියන ලද සඟරා ලිපිවල යටින් ඇල්බට් වෙනුවට ‘ ඇල්බත් කුමරුවන් ‘ කියා නම සටහන් කරන්න පටන් ගන්නේත් ඒ නිසා විය යුතු යි.

දවසින් දවස දේවල් හොඳින් ඉගෙන ගන්නා නිසා දැන් සංගීත පාඩමට ගුරුතුමා පැමිණෙන තෙක් සංගීතය උගන්වන්න පැවරෙන්නේ ද පුංචි ඇල්බට් වෙතය.

ඔය අතර අලුතින් එන ඩබ්ලිව්.ජේ.ප්‍රනාන්දු සංගීත ගුරුතුමා සමග මරදානේ කින්ස්ලි චිත්‍රපට ශාලාවේ හින්දි චිත්‍රපට නැරඹීමට යාමට ඇල්බට්ටත් අවස්ථාව ලැබෙන්නේ ය. මේ ගමන්වලදී ගුරුතුමා නොවැරදීම ගෙන යන දෙයක් තිබුණි. ඒ ඔහුගේ ඉංග්‍රීසි මැන්ඩලීනය යි. ඔවුන් කොටුවේ සිට නැවත කොරළවැල්ලට එන්නේ දුම්රියෙනි. චිත්‍රපටයේ ගීත මැන්ඩලීනයෙන් වාදනය කරමිනි.
මේ සංගීත ගුරුතුමා මාරුවක් ගෙන ගමට යද්දී ඇල්බට්ට කළුතර විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලබා දීමට කටයුතු කළේ ය. ඇල්බට් පෙරේරා “පීනමුකෝ කළු ගඟේ” ලියන්නේ මෙන්න මේ කාලයේ වීමද විශේෂයකි.

“මට මගේ ගීත නිර්මාණවල සෞන්දර්ය තුළින් අදත් පෙනෙන්නේ ගවුස් මාස්ටර්.” පසු කලක දී ඔහු එසේ පවසන්නේ කළුතර විද්‍යාලයෙන් ඉවත් වූ පසු ව අධ්‍යාපනය ලැබූ බලපිටිය සිද්ධාර්ථ විදුහලේ සංගීත ගුරුතුමා වුණ මොහොමඩ් ගවුස් මාස්ටර් ගැන ය.

වාදකයෙක්ව සිටි ඇල්බට් ගායකයෙක් වන්නේ අහම්බෙනි. ගවුස් මාස්ටර් සංගීත අධ්‍යක්ෂණය කළ “රසයි කිරි නෑ දියාරු ‘ ගීතය ඔහු ගායකයෙක් බවට පත් කළේය. එදා ඒ ගීතය ගායනා කිරීමට නියමිත ව සිටියේ වෙනත් ගායකයෙකි. ඇල්බට් සිටියේ වාදන කණ්ඩායමේ වයලින් වාදකයෙක් ලෙසිනි. පස් හය වතාවක් ම උත්සහ කෙරුව ද ගායකයාට ගීතය ගැයීමට නොහැකි වීම නිසා ගවුස් මාස්ටර් ඇල්බට් පෙරේරාට ගීතය ගැයීමට ඇරයුම් කළේය. එක වතාවෙන් ම ගීතය සාර්ථක වන අතර 1942 දී මුල් වතාවට ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරාගේ හඬින් ගීතයක් තැටිගත වුණේ එලෙස ය.

කොල්ලුපිටියේ චිත්‍රසේන කලායතනයට නිතර ගිය ඇල්බට් පෙරේරා ට සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන්, චිත්‍රසේන වැනි මහා කලාකරුවන්ගේ ඇසුර ලැබීමේ අවස්ථාව ලැබුණි.

එලෙස කාලය ගෙවී යද්දී ඇල්බට් පෙරේරා අශෝකමාලා චිත්‍රපටයේ සංගීත කටයුතු සඳහා ඉන්දියාවේ නීලගිරිහි සෙන්ට්‍රල්ස් ස්ටුඩියෝවට යෑමට සූදානම් විය. ඒ 1946 දී ය. ගමන තලෙයිමන්නාරම හරහා දනුස්කොඩිය ඔස්සේ දුම්රියෙනි. සුනිල් ශාන්තයන්ගේ ‘ආදර නදියේ’ ගීත පටිගත කිරීම යෙදී තිබුණේ ද එදා ය. ඒ බොරැල්ලේ කොටා රෝඩ්හි තිබුණු ගුවන් විදුලි මධ්‍යස්ථානයේ දීය. එදා ඔහු ඉන්දියාවට යන්නේ එම ගීතයට වයලින් වාදනයෙන් සහයවීමෙන් පසුව ය. සුනිල් ශාන්තයන්ගේ “ඕලු පිපීලා” ගීතයෙන් පසු ඇල්බට් පෙරේරාගේ වයලින් හඬ එකතු නොවූ සුනිල් ශාන්තයන් ගේ ගීතයක් නැති තරම් ය.

ඇල්බට් පෙරේරා ගේ සිනමා ආගමනය සිදු වන්නේ ද අශෝකමාලා චිත්‍රපටය සමග ය. “ඇයි කළේ යමෙක් ආලේ සහ භවේ භීත හැරදා ” කියා මොහිදීන් බෙග් මාස්ටර් ගයද්දී තාපසයා ගේ චරිතය රඟපාන්නේ ඇල්බට් පෙරේරා ය. ඒ ඔහුගේ මුල් ම සේ ම එක ම රඟපෑම වූයේ ය.

කුස පබාවතී නාට්‍යට “ශාන්ත මේ රෑ යාමේ ” ලියා තනු යොදන්නේ ඇල්බට් පෙරේරා ය. ඒ ඔහු ලංකා විශ්ව විද්‍යාලයේ සංගීත මේලාවෙහි උපදේශකයකුව සිටි කාලයේ දීය. සිංහල සංදේශ කාව්‍යක් මුල් වරට මුද්‍රා නාට්‍යක් කළ ප්‍රේමකුමාර එපිටවෙල ගේ ‘ සැළලිහිණිය’ට සංගීතය ගවුස් මාස්ටර් ගෙනි. ඒ කවි සමුද්‍ර ඝෝෂ විරිතට ගැයුවේ ඇල්බට් පෙරේරා ය. මේ මිහිරි ගැයුම ඇසූ ඩී.බී.ධනපාල ලංකාදීප පුවත්පත මගින් අරමුදලක් ඇරඹීමට අදහස් කරන්නේ ඇල්බට් පෙරේරාට ඉන්දියාවට ගොස් උසස් අධ්‍යාපනය ලබා ගැනීමට උදව් කිරීමට යි. එසේ වුවහොත් මතු දිනෙක ඔහු ජාතික වස්තුවක් විය හැකි බව ඉවෙන් මෙන් දැනී එසේ කළා විය හැකි ය.

මේ සියල්ල අතර ඇල්බට් පෙරේරා නම අමරදේව ලෙස වෙනස් කර ගත්තේ ය. ඒ නම දුන්නේ මහඇදුරු සරච්චන්ද්‍රයන් විසිනි. ගුණදාස අමරසේකරයන් දුන් ‘ මේඝවර්ණ ‘ නම සහ අමරදේව නම අතරින් අමරදේව නම තෝරාගත් බව සඳහන් වෙයි.

අමරදේවයන් සහ සරච්චන්ද්‍රයන්

ඩබ්ලිව්. ඩී. අමරදේව 1953 ඔක්තෝබරයේ දී භාරතයට යන්නේ තවදුරටත් සංගීතය හැදෑරීමට වෙනුවෙනි. ඒ වන විටත් ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශිෂ්ඨ ශ්‍රේණියේ ගායකයෙකි. රත්න ජන්කර් පඬිතුමාගේ වර්ගීකරණයට අනුව ය. එතුමා ලංකාවට පැමිණි අවස්ථාවේ අමරදේවයන්ගේ වයලින් වාදනය පිළිබඳ සිය දිනපොතෙහි සටහනක් තබා ඇති බව කියැවෙයි. ලක්නව්හි භාත්ඛණ්ඩෙ සංගීත විද්‍යා පීඨයේ දී අමරදේවයන්ට විදුහල්පති රත්න ජන්කර්ගෙන් කැඳවීමකට ඔහු ඉදිරියට යන්නට සිදු වන්නේ ඒ අනුව ය. එතුමා ඊට අවුරුදු දෙකකට පෙර ලියා තිබූ සටහන කාටත් ඇසෙන්නට කියෙව්වේය. අවසානයේ දී අමරදේව පළමු, දෙවන වසරවලින් නිදහස් කර කෙළින්ම තෙවන වසරට බඳවා ගත්තේය.

අමරදේව, වික්ටර් රත්නායක, ප්‍රේමකීර්තිද අල්විස්

ඉන්දියාවේ සිටින අතරතුර වරින් වර ලංකාවට එන අමරදේවයන් ජන ගායනා වැඩසටහන් කිහිපයකට ද සිය දායකත්වය ලබා දුනි. චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ” කුසුම් පිපී අතුපතරේ” , “වැලි තල අතරේ” (මහබෝ වන්නම) පටිගත වන්නේ ද මේ කාලයේදී ය.

ඉන්දියාවේ දී අමරදේවයන්ගේ වාද්‍ය ගුරුවරයා වන්නේ විශාරද ශ්‍රී විෂ්ණු ජෝග් වන අතර පසු කලෙක ඔවුන් දෙදෙනා අතර පැවති වයලීන වාදන ප්‍රසංගය සුප්‍රසිද්ධ ය. අමරදේවයන් එහිදී දැක් වූ වාදන කෞශල්‍ය නිසාවෙන් වඩා දක්ෂ ගුරා ද ගෝලයා ද යන්න සිතා ගත නොහැකි වූ බව කියැවෙයි.

1959 දීඩබ්ලිව්.ඩී. අමරදේව ලංකාවට එන්නේ වාද්‍ය විශාරද නමත් සංගීත උපාධියත් දෙක ම රැගෙන ය.

මඩවල එස්. රත්නායක නිෂ්පාදනය කරමින් අමරදේවයන් මෙහෙය වූ ‘ජන ගායනා’ ගුවන් විදුලි විචිත්‍රාංගය ශ්‍රාවක හද ඇද බැඳ තබා ගැනීමට සමත් වූ එකකි. එතුමා ඒවා තුළින් ජන ගායනාව ඔස්සේ සිංහල සංගීතයට යා හැකි දුර කොතැක් දැයි සනිටුහන් කිරීමට උත්සාහ ගත්තේය. වන්නම්, සැහැලි,විරිදු පමණක් නොව බයිලා ද සිය නිර්මාණයන්ට අවස්ථානුකූල ව යොදා ගනිමින් දේශීය සංගීතයක ලකුණු තබමින් දුර ගමනක් ආ අමරදේවයන් ජන ගායනා, රස මියුරු, ස්වර වර්ණ, මධුවන්ති, විජය ගීත වැනි විචිත්‍රාංග ඔස්සේ සිය ප්‍රතිභාව සමාජ ගත කරමින් දන මන පෝෂණය කළේය.

එතුමා සංගීත ලෝකයට මුදා හළ සුමියුරු තනු නිර්මාණ ගණන කෙතරම් දැයි එතුමා වත් දැන සිටියා දැයි සැකය. ක්ෂණිකව සංකීර්ණ සංගීත නිර්මාණ කිරීමේ අපූරු හැකියාවක් තිබූ එතුමාගේ එම හැකියාව කෙතරම් ද යත් වරක් අමෙරිකාවෙ සිට ලංකාවට ආ සංගීතවේදියෙකු පවසන්නේ ඔහු දුටු ‘වේගවත් ම සංගීත මොළය හිමි පුද්ගලයා අමරදේවයන්’ බව යි.

අමරදේවයන් සහ පුතු රංජන අමරදේව

එතුමා රන්මුතු දූවේ පටන් ගම්පෙරළිය, රන්සළු, දෙලොවක, මඩොල්දූව, තරංගා, සාගර ජලය වැනි චිත්‍රපටයන්ට සිය සත්සර රටා මිහිරට එක් කළේය. අමරදේවයන් නාට්‍ය සංගීතයට එන්නේ සරච්චන්ද්‍රයන්ගේ ” එලොව ගිහින් මෙලොව ආවා” සමග ය. පබාවතී,කදා වළලු, වෙස්සන්තර, ලෝමහංස වැනි නාට්‍ය ද චිත්‍රසේනගේ කරදිය, නල දමයන්ති වැනි මුද්‍රා නාට්‍යද අමරදේව සංගීතයෙන් හැඩ විය.

අරිසෙන් අහුබුදු සූරීන් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් තුළ පවතින ගුණ හතරක් ගැන පවසයි. එනම් භාෂා ඥානය, ජාත්‍යාලය, දේශීයත්වය, රස විඥානය ලෙසයි. තනු නිර්මාණයත් පද රචනයත් යන හැකියාවන් දෙක ම එකවර පිහිටන වාග්ගේයකාර ගුණය අමරදේවයන් සතු වූවේය.

සැබැවින් ම ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සතු වූ පුළුල් භාෂා ඥානය, ලේඛන හැකියාව විස්මිත ය. කුමාරතුංග මුනිදාසයන් මෙන් ම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සමීප ඇසුර සාහිත්‍ය දැනුම වඩවා ගැනීමට හේතුවක් වූවා විය හැකි ය. ඇතැම් ප්‍රවීණ ගීත රචකයන්ගේ ගී රචනා පවා ඔහු යම් යම් වෙනස් කම් කර, ගැයීමට සුදුසු පරිදි සකස් කර ගත් අවස්ථා ප්‍රකට ය. මානවසිංහයන් රචනා කළ “ජගත් මෝහිණී ” සරස්වතී අභිනන්දන ගීතයේ මුල් පිටපතේ තිබුණේ “නමස්තේ සරස්වතී දේවී ” ලෙස ය. එය “වන්දේ” ලෙස වෙනස් කළේ අමරදේවයන් ය.

එතුමා කුළුඳුලේ ලියූ ‘නාද සිත්තම් ‘ පොතට 1989 දී පළ වූ හොඳ ම කෘතියක් ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද හිමි විය.

අමරදේවයන් මාල දිවයිනේ ජාතික ගීතය නිර්මාණය කිරීමටද දායක විය. ගුවන් විදුලි වාදක මණ්ඩලයේ අධිපති, සංගීත විද්‍යාලයේ අධිපති ධූර දරමින් වෘත්තිය ජීවිතය ගෙව්ව ද සොඳුරු රසාලිප්ත නිර්මාණ රැසකට ජීවය දෙන්නට අමරදේවයන් දැක් වූ කැපවීම නිසාම ජනාධිපති සම්මාන, කලාශූරී, සරසවි, දීපශිකා,විචාර සම්මාන, ප්‍රතිභා ප්‍රණාම, බහුමාන, අභිනන්දන බොහොමයක් හිමි කර ගත්තේය. ආසියාවේ නෝබෙල් ත්‍යාගය ලෙස සැලකෙන රැමෝන් මැග්නයිසේ සම්මානය මෙන්ම ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානයෙන් ද අමරදේවයන් පිදුම් ලැබුවේ ය.

අමරදේවයන් ජාතියට තිළිණ කළ සුභාවිත ගීතාවලිය බොහෝ දිගු ය. එවන් මියුරු ගී සමුච්චයකින් එකක් දෙකක් පමණක් සඳහන් කිරීම කළ නොහැකි ය. කිව යුත්තේ ඒවා සැනසිල්ලේ විඳිය හැකි සර්වකාලීන නිර්මාණයන් බව පමණි.

අමරණීය අමරදේව ගීත කලාව පිළිබඳ අදහසක් ගැනීමට එතුමාගේ පහත අදහස සෑහෙයි.

“කලාව වූ කලී මිනිසා විසින් සාක්ෂාත් කරගනු ලබන උත්තරීතර හා විශිෂ්ට හැඟීම් අන්‍යයන් වෙත සම්ප්‍රේෂණය කිරීමේ අරමුණින් කෙරෙන මානව ක්‍රියාවලියයි. යම් කෙනෙකුට අන්තර් දේශීය වන්න පුළුවන් වන්නේ දේශීය වුණොත් පමණයි. අනන්‍ය සාධාරණ නොවී විශ්ව සාධාරණ වන්න බැහැ .”

අමරදේවයන් තම ක්ෂේත්‍රයේ ඉදිරි පරපුරේ හැකියාවන් දුටු විට ඒවා නොපැකිල ව ඇගයීමට ලක් කළේ හදවතිනි. එසේ ම නව පරපුරේ නිර්මාණ කටයුතු සඳහා බොහෝ කැමැත්තෙන් සිය දායකත්වය ලබා දුන්නේය. ඒ නිහතමානී ගුණය ද ඉහත දැක් වූ ලැයිස්තුවට එක් විය යුතු ය.

සකල කලාවට පෙම් බැඳි අමරදේවයන් හා ඔහුගේ ප්‍රියම්බිකාව වූ විමලා ගුණරත්න හමුව සිදු වන්නෙත් කලාවකට යි. ඔහු වෙනුවෙන් පැවති උපහාර උත්සවයක දී මංගලම් නර්ථනයෙන් ඔහු පිළිගෙන ඔහුට මල් මාලයක් පැලඳූ ඒ විමලාව 1963 අගෝස්තුවේ දී අමරදේවයන් ගේ සුරතින් මංගල මුදු පැලඳුවා ය. මහගමසේකර,එච්.එම්.ගුණසේකර සාක්කි කර ගනිමිනි. සුභානි, ප්‍රියංවදා රංජන් ඔවුන්ගේ දූ දරුවන්‍ ය. ඔවුන් අතරින් සුභානි කලා ලොව කැපී පෙනෙන ලෙස කලා කටයුතු වල නිරත ව සිටින බව පෙනෙයි.

අමරදේවයන්ගේ පවුලේ සාමාජිකයන්

ලලිත කලාවන් අතර සුලලිත කලාව වූ සංගීතය සමග දිවි ගෙවූ මේ මහා සංගීත ප්‍රාඥයා 2016 නොවැම්බර් 03 දා දිවිසැරිය නිම කළේ ය. එහෙත් ලාංකීය සංගීතයේ රන් සළකුණ තබමිනි.

  • අමරදේවයන් සම්බන්ධ පුවත්පත් ලිපි, රංජිත් අමරකීර්ති පලිහපිටියගේ කෘතිය සහ අන්තර්ජාලය ඇසුරෙන් ලිපිය සැකසිණ.
  • ඡායාරූපද අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ඒවාය

වයලට් ප්‍රියදර්ශනී විතානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles