මම නිව්ස් කිව්වෙ අද ඊයෙ නෙවෙයි : චතුරිකා පීරිස්

අනිත් හැම දේ වගේම කලින් කලට වෙනස් වන තවත් තැනක් තමයි මාධ්‍ය ලෝකයත්. එහෙම වුණ අලුත් ම වෙනසක් මෑතක දි අපිට දකින්න ලැබුණා.

එක්තරා රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට රංගන ශිල්පිනියන් එක් කර ගැනීමේ ඒ වෙනස ගැන හොඳ නොහොඳ දෙකම අපිට ඇහුණා.

වෘත්තීයමය වශයෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන පිරිසට මෙයින් අසාධාරණයක් වන බව අයෙකු කියද්දී තව කෙනෙකු ගේ අදහස වුණේ නිළියක් වුණත් ප්‍රවෘත්ති කියන්න පුළුවන් නම් ඒකෙ වරදක් නැති බවයි. තව අදහසක් වුණේ, මේ ගැන දැන්ම යමක් කීමට ඉක්මන් විය යුතු නැති බවයි.

මේ විදිහට අප හොඳින් දන්නා හඳුනන රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකුම රූපවාහිනී තිරයේ ප්‍රවෘත්ති කියනවාත් ඒ අය අතර දක්ෂ රංගන ශිල්පිනියක වන චතුරිකා පීරිස් ඉන්නවාත් අපි දැක්කා .
චතුරිකා පහුගිය දවසක රූපවාහිනී වැඩසටහනකට ආවා. ඒ වෙලාවෙ ඔය ප්‍රවෘත්ති කතාව ගැන මෙහෙම කියලා තිබුණා.

“මම කලින් නිවුස් කියන්නේ ජාතික රූපවාහිනියේ. 2002 කාල වකවානුවේදී මම ඒකට ට්‍රේන් වෙලා තියෙනවා. ඒ කාලෙ මගේ බුලටින් එක තිබුණේ ඉරිදා රාත්‍රී අට. ඒ කාලෙ හිටපු ජනාධිපතිවරයාත් ඉරිදා රාත්‍රී 8 කියන එක බලනවා. එතකොට ඒකේ හරිම ලොකු වගකීමක් තියෙනවා. ඒත් ඒක මට දිගටම කරන්න හම්බ වුණේ නෑ. මම නාලන් මෙන්ඩිස් මහත්මයාගේ නාට්‍යයට සම්බන්ධ වෙච්ච නිසා. ඒ කාලේ තිබුණා දෙයක්. ඒක නීතියක් නෙමෙයි රීතියක්. නිවුස් කියන අය රඟපාන්නේ නෑ. රඟපානවා නම් නිවුස් කියන්නේ නෑ. එහෙම එකක් තිබුණා. නමුත් ඒක පසුකාලීනව වෙනස් වුණා. මට මතකයි ජාතික රූපවාහිනියට 2007 දී අපේ තාත්තා නිෂ්පාදනය කරපු ටෙලි නාට්‍යයක දෙමළ අංශයෙ නිව්ස් කියපු කීපදෙනෙක් රඟපෑවා. එතැනින් ටික ටික ඒක හැදිලා පසුකාලීනව වෙනස් වුණා.

නමුත් මෑතක් වෙනකන් ලොකු වෙනසක් වුණේ නැහැ. මොකද ඒක ලොකු වගකීමක්. අපි හැම වචනයක්ම හරියට උච්චාරණය කරලා කියන්න ඕන. හදිසියේ ෂූටින් කරලා ඇවිල්ල දඩිබිඩි ගාලා නිවුස් කියන්න බෑ. මම ඒක ඉස්සර කළේ කලින් ගිහිල්ලා. අටට නිවුස් කියන දවස්වල මම මුලදී එතැනට ගියේ තුනට. එහෙම එහෙම පුරුදු වුණා. ඒක ඇත්තටම මාර රෙස්පොන්සිබිලිටි එකක්. ලයිව්නෙ. රෙකෝර්ඩ් කරන්නත් බෑ. මේ වැරදුණා පස්සෙ කියන්නම් කියලා කරන්නත් බෑනෙ.

මං හිතන්නේ දැන් මේ අපි නිවුස් කියන එක මෙච්චර වෛරල් වුණේ අපිට ආදරේ කරන පිරිසක් ඒක බැලුවා සහ ඒ වගේම අපි කොච්චර දුරට වරද්දයිද කියලා බැලුවා.

අපි ඉතින් මොනව කරන්න ගියත් සමාජ මාධ්‍ය හරහා ප්‍රහාරයක් එල්ල වෙනවනේ. එතැනදි මං හිතන්නේ ආයතනය ගත්ත තීරණයක් තමයි මේ වකවානුව තුළ අපේ ගොඩක් චැනල්වල ඉන්න නිවුස් රීඩ් කරන අයගේ සීනියර්ස්ලාට උගන්නලා තියෙන්නේ අපේ තාත්තයි ලොකු තාත්තයි. ඉතින් එතැන දි මගේ පැත්තට ඒ පහර එල්ල වීම පොඩි අඩුවක් තිබුණා.මොකද ගොඩක් දෙනා දන්නවා මම ජාතික රූපවාහිනියේ නිව්ස් රීඩ් කළා කියලා. ඒ නිසා තමයි ඒ චැනල් එක මාව මුලින්ම දාන්න ඕනෙ කියල හිතුවේ සහ විශ්වාසයක් තියෙන්න ඇති කලින් ට්‍රේන් වෙලා තියෙන නිසා මම මේක කරයි කියලා. ඉතින් මේක ලොකු වගකීමක්. හැබැයි මම හරි කැමැත්තෙන් කරනවා.”

නිළියන් ප්‍රවෘත්ති කියන්න පටන් ගත් එක ගැන චතුරිකාගෙ පැත්තෙන් චතුරිකා කියන්නෙ එහෙමයි.

ඒ කතාවෙන් ඒ ගැන හිතන්න දේවල් ටිකක් තියෙනවා කියලා අපිට හිතෙනවා.

  • වයලට් ප්‍රියදර්ශනී විතානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles