රම්‍ය ස්වරය රම්‍යා ගැන සටහනක්!

“මේ…
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති… ප්‍රකාශය රම්‍යා වනිගසේකර විසින්.”

රම්‍යගේ ගාණට ප්‍රවෘත්ති කියවන්න පුළුවන් නම් හරි. ඇය ගුවන් සංස්ථාවේ ඉන්න කාලේ ප්‍රවෘත්ති කියවන්න ආපු නවකයෝ හිතුවේ එහෙමයි. මොකද විනාඩි දහයට පේළි එකසිය දහයක් වචනයක්වත් වරද්දන්නෙ නැතුව කියන්න පුළුවන් වුණේ ඇයට විතරයි. ඒ හඬේ ළයාන්විත බවක් එක්කම ගැඹුරක් තිබුණා.

මිනිස්සු ඒ හඬට අසීමිතව ආදරේ කරන්න පටන් ගත්තා. අදටත් අපිට ඒ හඬ ඇහෙනවා ඇහෙනවා වගේ.

ඒත් අපිට ඒ හඬ සජීවීව නම් ආයෙ අහන්න බැරි වෙයි. මොකද අපි හැමෝම දන්නවා පහුගිය අට වෙනිදා ඒ හඬ සදහටම නිහඬ වුණු බව.

අපිට රම්‍යා හමු වෙන්නේ ගුවන් විදුලි මැදිරියේ දි විතරක් නෙවෙයි. අපිට මතකයි කැලණි පාලම උඩදි මැටිල්ඩා විදිහටත් කන්දෙ ගෙදර හාමිනේ විදිහටත් ඇය හමු වුණා.

ඒ විතරක් නෙවෙයි පළිඟු මැණිකේ, පබා වගේම යර්ස් බොස් වගේ වෙනස් විදිහෙ ටෙලි නාට්‍ය වලිනු ත් රම්‍යා අපේ ආලින්දයට ආවා. සිනමාවටත් ඇයට දොර ඇරුණා. ලැබෙන ඕනෙම චරිතයක් ඇය රඟපෑවේ අපිට මතක හිටින විදිහට. මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කිරීමේ අපූරු හැකියාවක් ඇයට තිබුණා. එක් එක් පුද්ගලයන් ගේ මුහුණු වල ඉරියව් අනුකරණය කරන්න වගේ දේවල්වලට ඇය හරි දක්ෂයි ලු. ඇයගේ ළඟම හිතවතුන් කියන්නේ ඔය නිසාම සාමාන්‍ය ජීවිතයේදිත් ඇය ඉන්නෙ කොතැනද එතැන රස සාගරයක් කියලයි.

මේ ඔක්කොමත් එක්ක ගොඩක් අය දන්නෙ නැති දෙයකුත් තියෙනවා. ඒ තමයි රම්‍යා දක්ෂ ගායන ශිල්පිණියක් බව. ඇය ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ නූර්ති ගායිකාවක්.

ජනාධිපති සම්මානත් ගත්ත,වෘත්තීය ජීවිතයේ දී මේ විදිහට එක එක විදිහේ භූමිකාවන්ට පණ දුන්න රම්‍යා වනිගසේකර මහත්මිය දුවෙකුගේ ආදරණීය අම්මා කෙනෙක්. ඒ දුව විතරක් නෙවෙයි ඇයට ආදරය කළ අපි හැම දෙනාවම දාලා මාර්තු 10 වෙනිදා හවස ඇය මෙලොවින් සමුගත්තා..

ඉතින් …දිගු කාලයක් අප රස ගැන් වූ ආදරණීය, මනරම්‍ය රම්‍යාවන්ට සුබ ගමන් !

  • වයලට් ප්‍රියදර්ශනී විතානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles