අම්බානි පුතුගේ විවාහයේ බොහෝ දෙනා නොඇසූ කතාව

රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් ?
පණ ඇති කිසිම සත්වයෙක් කැමති නෑ අසනීප වෙනවට. ඒක හරි අසරණ හැඟීමක්.
නිරෝගී බව පරම ලාභය බව බුදු වදනේත් කියැවෙනවා.

මේ දවස්වල ලෝකෙම ඇස් යොමු වෙලා තියෙන්නේ එකම මංගල්‍යයකට.
ඉන්දීය කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ පුත්‍රයාගේ පූර්ව විවාහ උත්සවය ගැන කවුරුත් කතා වන්නේ එහි උත්කර්ෂවත් බව ගැන විතරක් ම නෙවෙයි, මනාලයා ආනන්ද් අම්බානි ගැනත්.

මනාලියට වඩා මනාලයා කතාබහට ලක් වූ විවාහයක් විදිහටත් අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඊට හේතු වුණේ ආනන්ද් ගේ පෙනුම, අසාමාන්‍ය යැයි සම්මත සිරුරේ හැඩය.
නමුත් ඊට යටින් ඇති ඔහුගේ කතාව අපි හිතනවාට වඩා වේදනාත්මක එකක්.

උත්සව සභාවේ සිටි සිය පියාගේ වගේම පැමිණි සිටි නෑදෑ හිතමිතුරන් ඇතුළු ආරාධිත අමුත්තන්ගේ පවා
දෑස් තෙත් කළ ආනන්ද් අම්බානි ගේ මේ කතාව ටිකක් අහන්න.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළ විදිහට ඔහු ඇදුම රෝගය සහ ඒ ආශ්‍රිත බොහෝ රෝග පීඩාවන්ට මුහුණ දෙනු ලැබුවා.

” ඔබ බොහෝ දෙනෙක් දන්නා පරිදි මගේ ජීවිතය සැම විටම රෝස මල් යහනාවක් වුණේ නැහැ. මම කටුවල වේදනාවත් අත්විඳලා තියෙනවා. මම ළමා කාලේ බොහෝ සෞඛ්‍ය ප්‍රශ්න වලට මුහුණ දුන්නා.
ඒත් මගේ තාත්තයි අම්මයි කවදාවත් මට ඒක දැනෙන්න දුන්නෙ නැහැ. මම දුක් වින්දා. මගේ අම්මයි තාත්තයි හැමදාම මගේ පැත්තේ හිටියා. ඒ වගේම මගේ අම්මයි තාත්තයි නිතරම මට හැඟෙව්වා මට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ කියලා .මම හිතන්නේ අම්මයි තාත්තයි අදහස් කරන්නේ ඒක. මම හදවතින්ම එයාලට කෘතඥ වෙනවා.

මම දැන් රාධිකාගෙ පැත්තට හැරෙන්නම්. මම සීයට සීයක් වාසනාවන්ත කෙනෙක්. ඒ ගැන කිසිම සැකයක් නැහැ. මම දන්නෙ නැහැ මට රාධිකාව ලැබුණේ කොහොමද කියලා. ඉතින් අනිවාර්යෙන්ම මේ තමයි මගේ වාසනාවන්තම වසර. රාධිකා පහුගිය අවුරුදු හතක ඉඳන් මාව දැනගෙන හිටියත් මට රාධිකාව දැනෙන්නේ ඊයේ මුණ ගැහුණා වගේ. ඉතින් මම ඇය සමග සෑම දිනකම වැඩි වැඩියෙන් ආදරයෙන් බැඳෙනවා.

මගේ මස්සිනා මගේ සහෝදරිය ගැන කියනවා ඇයව දකින වාරයක් ගානේ ඔහුගෙ හදවතේ ගිනිකඳු මතුවෙනවා වගේ දැනෙනවා කියල. ඉතින් මම කියනවා මට රාධිකාව දකින දකින වාරයක් පාසා මගේ හදවතේ භූමිකම්පා සහ සුනාමි මතුවෙනවා වගේ දැනෙනවා කියලා. ඉතින් රාධිකා හැමදේටම ස්තුතියි .”

රූපය,ධනය, බලය කියන්නේ අප එකිනෙකාට සාපේක්ෂ දේවල්. ඒ තුළ සන්සන්දනයට යෑම කියන කාරණය මොනතරම් නොවටිනා එකක් දැයි මේ කතාව ඇහුවම අපිට වැටහෙනවා.

  • වයලට් ප්‍රියදර්ශනී විතානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles