රුසියන් හමුදා රැකියා දෙනවැයි කියා ලක්ෂ ගාණක් වංචා කරලා

රුසියානු යුද හමුදාවේ රැකියා ලබාදෙන බව කියමින් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගෙන් මුදල් වංචාකර ඔවුන් රුසියාවට පිටත් කර යවා අතරමං කළ බව කියන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ තොරතුරු හෙළි කර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට සම්බන්ධ විශ්‍රාමික යුද හමුදා මේජර්වරයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මහා ජාවාරමට සම්බන්ධ බවට සැකකරන යුදහමුදා මේජර් ජෙනරාල්වරයකුද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ.

විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට මෙම සැකකරුවන් දෙදෙනා විසින් මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 43 දෙනකු රුසියාවට පිටත් කර යවා ඇති අතර ඔවුන්ට රුසියානු හමුදාවේ ඉහළ වැටුප් ලබාදෙන බව කියමින් පිටත් කර යවා ඇති බවත් මේ වනතුරු ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙසේ රුසියාවට යැවූ එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 08කට අධික මුදලක් ලබාගෙන ඇති බවද හෙළි වී තිබෙන්නේ.

සැකකාර විශ්‍රාමික යුද හමුදා මේජර්වරයා මඩකළපුව ප්‍රදේශයේ කඳවුරක සේවය කළ අයෙක් වන බවත් මොහු හමුදා සේවයෙන් විශ්‍රාම යෑමෙන් පසු මෙම ජාවාරමට සම්බන්ධ වී තිබෙන බවයි පරීක්ෂණ තුළින් අනාවරණය  වී තිබෙනවා.

මෙම සංවිධානාත්මක කණ්ඩායම තවත් විශාල පිරිසක් මේ ආකාරයට රුසියානු හමුදාවේ රැකියා ලබාදෙන බව කියමින් රැසියාවට යවා ඇති බවට රහස් පොලිසිය සැකපහළ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles