මාවනැල්ලේ කඩු සටනක් : පොලිස් වෙඩි

මාවනැල්ල පදීදොර ප්‍රදේශයේ දී පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුට කඩුවකින් කොටන ලද සැකකරු අප්‍රේල් 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් අනුරුද්ධ වීරක්කොඩි පෙරේදා (17) නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මාවනැල්ල පදීදොර රිටිගහමුල වත්තේ පදිංචිව සිටින මංගල සඳුන් කුමාර නමැති 24 හැවිරිදි තරුණයෙක් බවයි සඳහන් වන්නේ.

ඉකුත් 06 වැනිදා රාත්‍රි මාවනැල්ල පදීදොර ප්‍රදේශයේ පියකු හා පුතෙකු අසල්වැසි නිවාස කිහිපයකට කඩු දෙකක් රැගෙන ගොස් කලහකාරී ලෙස හැසිරෙමින් සිටින බවට 119 හදිසි දුරකතන අංකය මඟින් ඇමතුම් ලැබුණු බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

පසුව පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසියට පැමිණ පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණු අතර 119 හදිසි දුරකතන ඇමතුම් අංශයේ රාජකාරී කටයුතුවල නියැළී සිටි පොලිස් සැරයන්වරුන් වන ඩී.එම්.ඩී. බණ්ඩාර (35155) පී.ඒ.ඩී. නලින් (69310) යන නිලධාරින් දෙදෙනා යතුරුපැදියකින් මාවනැල්ල අරණායක පාරේ පිහිටි පදීදොර ගම්මානයට ගොස් ඇති බවයි පැවසෙන්නේ.

පසුව රාත්‍රි මුර සංචාර රාජකාරී කටයුතු සිදු කරමින් සිටි පොලිස් කණ්ඩායමක් ද පදීදොර ගම්මානයට ගිය අවස්ථාවේ දී මාවනැල්ල පදීදොර පදිංචිව සිටි ජයතිලක නමැති 53 හැවිරිදි දෙදරු පියා හා ඔහුගේ 24 පුත්‍රයා 119 හදිසි දුරකතන රාජකාරී කටයුතු සිදු කරමින් සිටි පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී පොලිස් නිලධාරින් දෙදෙනාට පිය පුතු දෙදෙනා අත තිබුණු කඩුවලින් කොටා තිබෙනවා.

එහි දී මුර සංචාර රාජකාරියේ නියැළී සිටි පොලිස් කණ්ඩායම එම ස්ථානයට ගොස් 53 හැවිරිදි ජයතිලක නමැත්තාට වෙඩි තැබීමක් සිදු කර ඇති අතර එහි දී ඔහු ජීවිතක්ෂයට පත්ව වූ බවයි වාර්තා වන්නේ.

තුවාල ලබා සිටි පොලිස් සැරයන්වරුන් මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව පලා ගිය තරුණයා ඉකුත් 15 වැනිදා නීතිඥවරයෙකු මාර්ගයෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට භාර වීමෙන් පසුව කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර විසින් අත්අඩංගුවට ගෙන ඉකුත් 16 වැනිදා මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී සැකකරු 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර (17) යළි නඩුව කැඳවු අවස්ථාවේ දී සැකකරු තවදුරටත් 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles