කරඳගොල්ල නායයෑමට හේතුව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි

දැනට සක්‍රීයව පවතින ඇල්ල, කරඳගොල්ල නායයෑම් තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ඇල්ල- වැල්ලවාය මාර්ගයට පවා දැඩි බලපෑම් එල්ල විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල-කරඳගොල්ල ප්‍රදේශයේ නායයෑම් තත්ත්වය යළිත්වරක් සක්‍රීය වී ඇති අතර මේ සඳහා උමා ඔය ව්‍යාපෘතියේ කිසිදු බලපෑමක් නොමැති බව හඳුනාගෙන ඇතැයි එම සංවිධානය අනාවරණය කරනවා.

එම ප්‍රදේශයේ භූමිය තුළ සිර වී ඇති ජලය ඉවත් කිරිම සඳහා අදාළ උපකරණ සවිකිරිම මේ වන විට ආරම්භ කර තිබෙන බවත් එම කටයුතු සඳහා දින 10ක් පමණ ගත වන බවත් ඔවුන් සඳහන් කරනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටින්නේ නායයෑමට ලක්විය හැකි ප්‍රදේශයේ ජලය මුදාහැරීම සඳහා භූ ස්ථායීතාව සහතික කිරිමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවයි.

තාක්ෂණ ඉංජිනේරුවන්, භූ විද්‍යාඥයින්, පරිසර විශේෂඥයින් ඇතුළු එම ප්‍රදේශයට ගොස් සමීක්ෂණ සිදුකර ගුවන් ඡායාරූප සහ සිතියම් විශ්ලේෂණය කරමින් මෙම ප්‍රදේශය මීට පෙර නායයෑම් කළාපයක් බවට නිගමනය කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles