දෙනෝදහක් බලා සිටියදී මිනිසකු මරා කෑ අයෙකුට කැනඩාවේ දී නිදහස!

සාරා වනිගසිංහ ලියයි.

ඔවුන් සාමාන්‍ය දිනයක කැනඩාවේ බස් රථයකට ගොඩවූ තවත් මගීන් දෙදෙනෙකි. එක් අයෙක් තම ගැබිණි පෙම්වතිය විසූ විනිපෙග් වෙත යන 22 හැවිරිදි තිමෝති මැක්ලීන් ය. අනෙකා 40 හැවිරිදි, භින්නෝන්මාදයෙන් ( schizophrenia ) හා මනෝ භ්‍රාන්තියෙන් (Hallucination ) පෙළෙන්නෙකු වූ වින්සන්ට් ලී ය.

2008 ජුලි 30 වෙනිදා පෙරවරුවේ, කානිවල් සේවකයෙකු වූ ටිම් මැක්ලීන් එඩ්මන්ටන් සිට විනිපෙග් බලා යාමට Greyhound Canada 1170 බස් රථයේ පිටුපස ආසනයක අසුන්ගෙන සිටියේ එය තමාගේ දෛවෝපගත ගමනක් බව නොදැනය. එසේම අනෙකුත් මගීන්ද එය තම ජීවිතවල අඳුරු, භයංකර දිනයක් වන බව අහම්බෙන් හෝ සිතන්නට නැත.

උදෑසන 06:00 ට පමණ,වින්සන්ට් වේගොන්ග් ලී ( Vincent Weiguang Li) මැනිටෝබා හි එරික්සන් පෙදෙසින් බසයට ගොඩ විය.  බස් රථයේ මගීන් ප්‍රකාශ කළ පරිදි එම අවස්ථාවේ ඔහුගෙන් ව්‍යාකූල බවක් දිස්වූ අතර, සෙසු මගීන්ට බාධාවක් වන ලෙසද හැසිරී තිබිණ. නමුත් පසුව ඔහු බසයේ ඉදිරිපස අසුනක සාමකාමීව අසුන්ගෙන ඇත. නැවතුම් කීපයකට පසු, ලී බසයේ පිටුපසට ගොස් – ඒ වන විට ජනේලයට හිස තබාගෙන නිදා සිටි මැක්ලීන් අසලින් අසුන්ගෙන ඇත.

මියගිය තිමොති මැක්ලීන්

පෙරවරු 8:30 ට පමණ හදිසියේම වින්සන්ට් ලී,  මැක්ලීන් වෙත වියරු ප්‍රහාරයක් දියත් කළ අතර, සඟවාගෙන පැමිණි විශාල පිහියකින් තරුණයාගේ බෙල්ලට සහ පපුවට නොනවත්වා අනින්නට විය. රියදුරු බසය නැවැත්වූ සැණින් බොහෝ මගීන් බසයෙන් එලියට පැන ගත්හ. එක් තරුණයෙක් සහ බස් රථයේ කලබලය දුටු ට්‍රක් රථ රියදුරෙක් ටිම් මැක්ලීන් සහ සිරවී සිටි අනෙක් මගීන් ව ගලවා ගැනීමට උත්සාහ කළ නමුත් ලී වියරුවෙන් මෙන් විශාල පිහිය වනමින්, ඔවුන්ට ද අනින්නට තැත් කලේය. ටිම් මැක්ලීන් ඒ වන විටත් මියගොස් ඇතැයි පෙනුණු නිසා ඔහු හැර අවසාන මගියාත් එළියට පැනගත් පසු, ලී ට පැනයාමට නොහැකි ලෙසට ඔවුන් බස් රථය අඟුළු දැමූ බව නඩු විභාගය අතරතුර සාක්ෂි වශයෙන් පැවසිණ.

ඝාතක Vincent Weiguang Li

ඉන්පසුව , අඟුළු දැමූ බසය තුළ සිටි වින්සන්ට් ලී ඔහු සිදු කරන බිහිසුණු ක්‍රියා මගීන්ට ප්‍රදර්ශනය කරන්නට පටන්ගෙන ඇත. අනෙකුත් මගීන්ට පෙනෙන පරිදි මැක්ලීන්ගේ කපා වෙන්කළ හිස ජනේලය දක්වා ඔසවා තැබූ ඔහු වියරුවෙන් මෙන් මැක්ලීන්ගේ සිරුර කොටස් කරමින්, ඔවුන්ට පෙන්වමින් මැක්ලීන්ගේ මාංශ අනුභවය පවා සිදුකළ බවට මඟීන් පසුව සාක්ෂි දෙන ලදී.

මේ සිදුවීම පිළිබඳව කැනේඩියානු පොලිසියට ඒ මොහොතේදීම , එනම් උදෑසන 8.30 ට පමණ කිසිවෙකු විසින් දැනුම් දී තිබුණු අතර ඔවුන් ඉක්මනින්ම අදාළ ස්ථානයට ( Portage la Prairie) වාර්තා කර තිබිණි. එහිදී වින්සන්ට් ලී තවමත් බස් රථයේ සිටින බව නිලධාරීන්ට පෙනී ගියේය. අනෙක් මගීන් බොහොමයක් පාර අයිනේ සිටි අතර, ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් කම්පනයෙන් පසුවූ බවත්, අඬමින් සහ වමනය කරමින් සිටි බවත් පොලිස් නිලධාරීන්ට දකින්නට හැකිවිය. ඒ සියල්ල කළමනාකරණය කරන අතරම අපරාධකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට පැය පහක් ගත විය. දහවල් 1:30 ට පමණ, ලී ජනේලයක් කඩා පැන යාමට උත්සාහ කළ නමුත්, විද්‍යුත් කම්පන තුවක්කුවක් (Taser Gun) භාවිතයෙන් අඩපණ කර ඔහුව පොලිස් භාරයට ගන්නා ලදී. මැක්ලීන්ගේ සිරුරේ කොටස් වැඩි ප්‍රමාණයක් බසය තුළ තිබී සොයා ගැනීමට පොලිසියට හැකි වූ නමුත් ඔහුගේ හදවත සහ දෑස් කිසි විටෙකත් සොයා ගැනීමට නොහැකි වූ බව වාර්තා කරන ලදී. මැක්ලීන්ගේ කන, නාසය සහ දිව ලීගේ සාක්කුවල තිබී පොලිසිය සොයා ගත් අතර අනෙකුත් අතුරුදහන් වූ ශරීර කොටස් ලී විසින් අනුභව කරන්නට ඇති බවට සැක කෙරිණි.
“අතුරුදහන් වූ අවයව තිබීමට වියහැකියාවක් ඇති වෙනත් ස්ථානයක් නැත ” ලෙස නඩු විභාගයේදී අභිචෝදක ජොයිස් ඩැල්මින් පැවසීය.

ඉක්බිතිව, මෙම අමානුෂික ප්‍රහාරයට හේතුව කුමක්දැයි බොහෝ වැසියන් විමසා සිටි අතර වින්සන්ට් ලී විසින්ම 2012 දී BBC වෙත පිළිතුරක් ලබා දී තිබිණි. දෙවියන්වහන්සේ ඔහු අමතා එය සිදුකරන ලෙසට අණකල බව ලී එහිදී පවසා ඇත.
” තමා ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම හා සමාන බවත්, අභ්‍යවකාශ පිටසක්වල ප්‍රහාරයකින් මිනිසුන් ගලවා ගැනීමට බලාපොරොත්තු වන බවත් ”  එම කටහඬ පැවසූ බවට පැහැදිලි කළ ලී  “ඇත්ත වශයෙන්ම,  සමාවෙන්න”  ලෙසට BBC නියෝජිතයා සමඟ කීපවරක් ම පවසා තිබිණි. ඔහුගේ මෙහෙයුම සඳහා සූදානම් වීමේ දී, බොහෝ විට පාගමනින් හෝ බසයෙන් රට පුරා ඉබාගාතේ යාමට කටහඬේ උපදෙස් දී තිබිණි. ලී දින ගණනාවක් නිවසින් අතුරුදහන් වී නැවත පැමිණෙන බව ඔහුගේ බිරිඳ විසින්ද සාක්ෂි දීමේදී තහවුරු කරන ලදී. පිටසක්වල ආක්‍රමණය කරන්නන්ගෙන් තමා නිරන්තර අනතුරකට ලක්ව සිටින බව පවසමින් ලී ආරක්ෂාව සඳහා නිවසේ තිබූ පිහියක් රැගෙන යාමට පටන් ගත්තේය. මැක්ලීන් ඝාතනය කිරීමට යොදා ගත් පිහියද එය ම බවට පරීක්ෂණ වලින් තහවුරු විය.

බස් රථයේදී, ඔහු අසල වාඩි වී සිටින පුද්ගලයා ඝාතනය කරන ලෙසත්, එසේ නොමැතිනම් ඔහු තමාව මරා දමනු ඇති බවත්, මැක්ලීන් සැබවින්ම පිටසක්වල ජීවියෙකු බවත් කටහඬ පවසා සිටි නිසා තමා ටිම් මැක්ලීන් ව ඝාතනය කළ බව හා නැවත ජීවිතය ලැබීම වැළැක්වීමට ශරීරය විකෘති කළ බවද ලී පැවසීය.

2009 මාර්තු මාසයේදී, මානසික රෝගයක් හේතුවෙන් ඝාතනයට සාපරාධී වගකීමක් නොමැති බව වෛද්‍ය වාර්තා පදනම් කරගෙන උසාවිය මගින් තීරණය කරන ලද අතර, වින්සන්ට් ලී, සෙල්කර්ක් මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ( Selkirk Mental Health Centre ) රඳවා තබන ලදී. මම නඩු තීන්දුව එකල ආන්දෝලනයකට පත්විය. මැක්ලීන් පවුල හා තවත් සමහරු එය සාධාරණ බවට විශ්වාස නොකළ අතර දිගින් දිගටම යුක්තිය ඉල්ලා සිටියහ.

“ ඔහු එය කළා. මානසිකව අස්ථාවර වෙලා සිටියත් නැතත්, එය සිදුකළා.  ඒ බස් එකේ වෙන කවුරුත් හිටියේ නෑ, පිහියක් අතේ තියාගෙන, මගේ දරුවව කැපුවා” මැක්ලීන්ගේ මව , කැරොල් ඩිඩෙලි කැනඩාවේ මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි. ටිම්ගේ පියා වන ජ්‍යෙෂ්ඨ තිමොති මැක්ලීන් ඔහුගේ හදවත මත තම ආදරණීය දරුවාගේ මුහුණ පච්චයක් ලෙස කොටාගෙන තිබූ අතර තවමත් ටිම්ගේ අහිමිවීම විශ්වාස කිරීමට අපහසු බවද, එම ශෝකයෙන් මිදීමට කිසි දිනක ඔහුට නොහැකියැයි පවසා තිබිණි.

සිය පෙම්වතිය හා එතෙකුත් මෙලොව එළිය නුදුටු දරුවා වෙත, තමාගේ ආදරණීයයන් වෙත යමින් සිටි නිර්දෝෂී මිනිසෙකු වූ ටිම් මැක්ලීන් ගේ මතකයට ගෞරව කිරීම සඳහා, Portage la Prairie හි මාර්ගය ආසන්නයේ ඔහුගේ නම සහිත සුදු කුරුසයක් සිහිවටනයක් ලෙස තබා ඇත.  එහි, ඔහුගේ නමට පහළින් තීන්තයෙන් ලියා ඇති, ඔහුගේ පියාගේ හෘදයාංගම පණිවිඩයකි:
“I think of you always son. Love, Dad “

ටිම් මැක්ලීන්ගේ ශෝචනීය අභාවයෙන් මාස පහකට පසුව ඔහුගේ හැඩහුරුකම් බොහෝමයක් සතු කරගෙන ම ඔහුගේ පුතු ඉපදුණු අතර මැක්ලීන් පවුලට කුඩා හෝ අස්වැසිල්ලක් ගෙන ඒමට බිළිඳු දරුවා සමත් වූ බව මැක්ලීන්ගේ මව පසුකලෙක පවසා තිබිණි. 

2010 ජූනි 3 වෙනිදා, ප්‍රාන්ත කමිටුවක් මගින් ඡන්දය විමසීමෙන් අනතුරුව නිවාස රැඳවුම් නියෝගයේ සිටි වින්සන්ට් ලී ට මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානය තුළ එළිමහනේ හැසිරීමට අවසර දෙන ලදී.

2011 පෙබරවාරි 16 වන දින, ඩෙබ්‍රා ටකර් සහ කයිලි ෂෝ නම් බස් රථයේ ගමන් කළ මගීන් දෙදෙනෙක්, භීෂණකාරී මිනීමැරුමකට නිරාවරණය වීම පිළිබඳව නඩුවක් ගොනු කර මිලියන තුන බැගින් වන්දි ඉල්ලා සිටින ලදී. මෙය වින්සන්ට් ලී, ග්‍රේහවුන්ඩ් බස්රථ ආයතනය හා කැනේඩියානු රජයට එරෙහිව ගොනුකර තිබිණි. නමුත් පසු කාලයක ඔවුන් නඩුව ඉල්ලා අස්කරගන්නා ලදී.

2011 මැයි 30 දින, ලී මනෝචිකිත්සක ප්‍රතිකාර සඳහා හොඳින් ප්‍රතිචාර දක්වන බවත් ඔහුගේ වෛද්‍යවරයා ලී ට මාස කිහිපයකින් වැඩි නිදහසක් ලබා දෙන ලෙස නිර්දේශ කර ඇති බවත් මාධ්‍ය විසින් අනාවරණය කරන ලදී.

2012 මැයි 17 වන දින, හෙදියක් සහ තවත් නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ, නගරයට පැමිණීම සඳහා ලී ට මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් තාවකාලික අවසර පත්‍ර ලබා දී ඇති බවද අනාවරණය විය.

කැනඩාවේ මානසික රෝග පිළිබඳ සංගමයේ නිලධාරියෙකු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී, ලී ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කතා කරමින්, ඔහුගේ තත්ත්වය කෙමෙන් දියුණු වන බව බෙදා ගත්තේය. “ග්‍රේහවුන්ඩ් බස් රථය තමාට කිසිදා අමතක කළ නොහැකි” බවත්, මැක්ලීන්ගේ පවුලේ අය ඔහුට සමාව නොදෙනු ඇති බව හා එම සිදුවීම නිසා ඔහුට නැවත කිසිදා සතුටින් සිටිය නොහැකියි ඔහු විශ්වාස කරන බවත්, වරද පිළිගන්නා බවත් එහිදී වින්සන්ට් ලී පවසා ඇත.

2015 පෙබරවාරි 27 දින, ලී ට විනිපෙග් වෙත පැමිණීම සඳහා අධීක්‍ෂණය නොකළ අවසරපත් ලබා දෙන ලදී.
2015 මැයි 8 වන දින, කැනේඩියානු ප්‍රවෘත්ති වාර්තා කළේ වින්සන්ට් ලී ට පුනරුත්ථාපන වූවන්ගේ නිවසක වාසය කිරීමට අවසර පත්‍ර ලබා දෙන බවයි.

2016 පෙබරවාරි මාසයේදී, ලී ඔහුගේ නම විල් ලී බේකර් ලෙස නීත්‍යානුකූලව වෙනස් කළ අතර, ස්වාධීනව ජීවත් වීම සඳහා තම කණ්ඩායම් නිවසින් පිටවීමේ අවසරය ලබා ගැනීමට උත්සාහ කරන බවත් වාර්තා විය. අපරාධ නීති සමාලෝචන කමිටුවක නිර්දේශය මත පෙබරවාරි 26 වැනිදා ඔහු තනිව ජීවත්වීමේ අයිතිය දිනා ගත්තේය. තවදුරටත් වාර්ෂික සමාලෝචන හා ඇගයීම් වලට සහභාගි වීම හෝ ඔහුව සමීපව නිරීක්ෂණය ( monitoring ) කිරීමට අවශ්‍ය නොවන බව අපරාධ නීති සමාලෝචන මණ්ඩලය තීරණය කරන ලදී
2017 පෙබරවාරියේදී, වින්සන්ට් ලී ව මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් පූර්ණව නිදහස් කළ අතර ඔහු එතැන් සිට තවමත් කැනඩාවේ මැනිටෝබා ප්‍රදේශයේ ජීවත් වෙයි. 


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles