විශේෂඥ වෛද්‍යවරු රට හැර යෑම ගැන වෛද්‍යවරයෙක් කියන කතාවක්

ප්‍රාදේශීය රෝහල්වල/ මූලික රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරු බොහෝ දෙනෙක් සේවයෙන් ඉවත් වෙමින් යයි. සමහර දෙනෙක් විදේශගත වෙති. මේ වෙද්දි විශාල ප්‍රමාණයක් එසේ ඉවත්ව ගොස් තිබේ. සමහර පළාත්වලට ම සිටි අක්ෂි වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු දැන් මෙරට හැර ගොස් තිබෙන අතර සෞඛ්‍ය සේවයේ දැඩි අර්බුදයක් නිර්මාණය වෙමින් තිබේ.

මේ තත්වය දිගින් දිගට සිදු වන්නේ නම් ලංකාවේ සෞඛ්‍ය සේවය 90 දශකයේ තිබු මට්ටමට පසුබසිනු ඇත. එකල විශේෂඥ වෛද්‍යවරුන් සේවය කළ රෝහල් තිබුණේ දිස්ත්‍රික්කයකටම එකක් හෝ දෙකකි. සමහර රෝගී ප්‍රතිකාර අංශ තිබුණේ ලංකාවට ම කීපයකි. එම රෝහල් වෙත හෝ පෞද්ගලික ප්‍රතිකාර චැනල් සෙන්ටර් වෙත වාහන කුලියට ගෙන හෝ ඥාති නිවසක් වෙත ගොස් එහි නැවතී සිට ප්‍රතිකාර ගත්තා මිස අද මෙන් ප්‍රාදේශීය නගරවල රෝහල්වල හෝ චැනල් සෙන්ටර්වල විශේෂඥ වෛද්‍යවරු සිටියේ නැත.

එහෙත් එයින් පසු මෑත යුගයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සෑහෙන තරම් දියුණු වූ අතර මූලික රෝහල්වල පවා ප්‍රධාන අංශවලට විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් කටයුතු කිරීමට තරම් දියුණුවක් ලැබීය. එයින් නොනැවතී මානසික, චර්ම සහ විකිරණවේද වැනි අංශවල විශේෂඥ වෛද්‍යවරුද එක් වීම සිදු විය.

විශේෂඥ නොවන සාමාන්‍ය වෛද්‍යවරයෙකුට යහපත් ලෙස ජීවිතය ගත කිරීමට හැකි වටපිටාවක් නිර්මාණය කරගැනීමට හැකි වන්නේ සිය පෞද්ගලික වෛද්‍ය සේවය දියුණු කරගැනීම තුළිනි. රෝහල ආසන්නයේ ම නිවස පිහිටා තිබීම, නිවස ආර්ථික අර්බුදයට පෙර ගොඩනගාගෙන තිබීම, වාහනයක් මිලට ගෙන තිබීම, බිරිඳත් රැකියාවක නියැළීම ආදී කරුණු සම්පූර්ණව තිබේ නම් පමණක් වර්තමානයේ විශේෂඥ නොවන වෛද්‍යවරයෙකුට සිය ජීවන රටාව අර්බුදයකින් තොරව පවත්වාගෙන යා හැකි වෙයි.

එහෙත් හොඳ ආදායමක් ලැබෙන පෞද්ගලික වෛද්‍ය සේවාවක් හැම වෛද්‍යවරයෙකුටම ගොඩ නගා ගත හැකි නොවේ. එමෙන් ම විශේෂඥ වෛද්‍යවරයෙකු වූ පමණින් ද හොඳ පෞද්ගලික වෛද්‍ය සේවාවක් ගොඩ නගා ගන්නට හැකි වන්නේ නැත. සමහර විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍රවලට පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර කළ හැකි ද නොවේ. උදාහරණයක් ලෙස නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකුට ආදායම් ලබන පෞද්ගලික වෛද්‍ය සේවයක් ගොඩ නගා ගත හැකි ද?

ඔවුන්ට ජීවත්වීමටත්, සිය ජීවන රටාව නඩත්තු කරගෙන යාමටත් එවැනි අයෙකුට ලැබෙන්නේ ප්‍රමාණවත් වැටුපක් නොවේ. විශේෂඥ වෛද්‍යවරුන්ට සමහර විටෙක දුර පළාත්වල සේවය කරන්නට ද සිදුවේ. ගමන් වියදම්, නවාතැන් ආහාර වියදම් සහ වෙනත් වියදම් ද ඒ අනුව දැරිය යුතු වෙයි.

අනෙක් අතට පෞද්ගලික වෛද්‍ය සේවය යනු පුද්ගලයා මත රැඳී තිබෙන්නකි. එය සාර්ථක නොවන බොහෝ දෙනෙක් විකල්ප සෙවීම වරදක් යැයි කිව හැකි ද? සෑම කෙනෙක්ම තමන් වැටී තිබෙන අර්බුදවලින් ගොඩ යෑමට වෑයම් කිරීම අරුමයක් නොවේ. රටේ සියලු ක්ෂේත්‍රවල අය සිය විසඳුම් ලෙස රට හැර යෑමට වෑයම් කරද්දී වෛද්‍යවරුන් පමණක් එසේ නොකළ යුතු ද? එසේ යනවා යැ යි වෛද්‍යවරුන්ට පමණක් චෝදනා එල්ල කළ යුතු ද?

ඔවුන් රැක ගැනීමට වැඩපිළිවෙලක් ආණ්ඩුවට තිබිය යුතු ය. අනෙක් ක්ෂේත්‍රවල රටට වටිනා මිනිසුන් මෙහි රඳවා ගන්නට ආණ්ඩුවට වැඩපිළිවෙලක් තිබිය යුතුය. ගැටලුව හඳුනාගෙන බලපෑම් කළ යුත්තේ පාලකයන්ට මිස මහා අර්බුදයේ ම ගොදුරු බවට පත්ව සිටින වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් නොවේ

අනෙක් අතට විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉතා හොඳ වැටුපකට සහ බොහෝ පහසුකම් සහිත ජීවිතයක් ලබා ගැනීමට විදේශගත වීම අනෙක් ක්ෂේත්‍රවලට වඩා පහසුයි.

මොන තරම් ආර්ථික අර්බුදයක් තිබුණත්, දේශපාලන අධිකාරිය සැපවත්ව තියන්න මුදල් වෙන් කරන, නාස්තාකාර වියදම් තවමත් අඩු කරලා නැති අපේ රට විශේෂඥ වෛද්‍යවරු මෙරට රඳව ගන්න වගේ ම ඉහළට ගෙනත් තියන මහජන සෞඛ්‍ය සේවය රැකගන්න වෑයම් නොකිරීම ප්‍රබලම ගැටලුව යි.

ජනතාව කළ යුත්තේ වරද රට හැර යන වෛද්‍යවරුන්ට වරද පටවා ඔවුන්ට තඩිබෑම නොව ගැටලුව සැබෑ විසඳුම් සෙවීමට පාලකයන්ට බල කිරීම ය.

වෛද්‍ය ජීවන් තරංග ජෝතියරත්න

ලියූ සටහනක් ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles