දාම ඝාතකයෙක්ගෙන් ගැලවුණු දැරියකගේ කතාව!

රිචඩ් ඉවොනිට්ස්ගේ දාම ඝාතන අවසන් වන්නේ ඔහුගේ ග්‍රහණයෙන් මිදුණු දැරියක් ඒ පිළිබඳව පොලිසියට වාර්තා කිරීම හේතුවෙනි.

රිචඩ්ගේ අවුරුදු හතක හෝ ඊටත් වැඩි දාම ඝාතක ජීවිතයේදී ඔහු කිසි විටෙකත් පොලිස් පොත්වල නම තබා නොගැනීමට තරම් බුද්ධිමත් වූ අතර අසල්වාසීන් සහ මිතුරන් ඔහුව දැන සිටියේ නාවික හමුදාවේ විශ්‍රාම ලත් භටයෙකු, සාමාන්‍ය අසල්වැසියෙකු ලෙස පමණි.

දකුණු කැරොලිනාවේහි වාසය කළ ජෝ සහ ටෙස් ඉවොනිට්ස්ට දාව 1963 වර්ෂයේ ජූලි 29 දින රිචඩ් ඉවොනිට්ස් උපත ලැබීය. කුඩා කාලයේ පවා ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්නුම් කළ ඔහු, අවුරුදු අටේදී තම කුඩා සොහොයුරිය මිය යන තෙක් හුස්ම හිර කරන්නට තැත්කර තිබිණ. එසේම යොවුන් වියේ අවසාන භාගයේ ඔහුගේ මුදල් ඉපැයීමේ මාර්ගය වී ඇත්තේ අසල්වැසියන්ගේ නිවෙස් වලට හොරෙන් ඇතුළු වී, ඔවුන්ගේ තොරතුරු වලින් ව්‍යාජ චෙක්පත් ලියා ගැනීමයි.

රිචඩ්ගේ බාල සොහොයුරිය වන ජෙනිෆර් විසින් කරන ලද ප්‍රකාශයකට අනුව, ඔවුන්ගේ පියාද ප්‍රකෝපකාරී පුද්ගලයෙකු වූ අතර ඔහු දැඩි ලෙස දරුවන්ගේ ජීවිත පාලනය කර තිබිණි. ඔවුන් කුඩාකළ ජීවත්වූ නිවස බන්ධනාගාරයක් මෙන් තමාට දැනුණු බව හා ඔවුන්ට පහර දීමෙන් පියා සතුටක් ලබන අයුරු ඔහුගේ මුහුණින් තමාට පෙනුන බව ජෙනිෆර් පවසා තිබිණි. පීඩනකාරී පරිසරයක ගෙවුණු ළමා කාලයකින් හා හොරමැරකම් සහිත යොවුන් වියකින් පසුව නිවස හැරයන රිචඩ් අවසානයේ එක්සත් ජනපද නාවික හමුදාවට බැඳුණි.

නමුත් 1987 වසරේදී, අවුරුදු පහළොවක හා අවුරුදු තුනක සොහොයුරියන් දෙදෙනෙකුට තම ලිංගික අවයව ප්‍රදර්ශනය හා ඔවුන් ඔවුන් ඉදිරිපිට ස්වයං වින්දනය කිරීමේ වරදට පොලිසිය විසින් රිචඩ්ව අත්අඩංගුවට ගන්න ලදී. ඒ වනවිට රිචඩ්ගේ වයස අවුරුදු 23කි. පොලිස් වාර්තා අනුව ඔහු වාචිකව හා ලිඛිතව වරද පාපොච්චාරණය කර තිබිණි. කෙසේ වෙතත්, මෙම අපරාධය සඳහා රිචඩ්ට දඩයක් ගෙවා පරිවාස ගතවීමට පමණක් සිදුවිය.

1992 දී, තම නාවික හමුදා සේවය නිමකරන රිචඩ් වර්ජිනියාවට සංක්‍රමණය වූ අතර ඔහුගේ දාම ඝාතනවල ආරම්භය එය විය. වර්ජිනියාවේ ස්පොට්සිල්වේනියා ප්‍රදේශය වෙත ගිය රිචඩ් ; වෙළඳසැලක සේවය කිරීමට පටන්ගත් අතර ඔහුගේ අනපේක්ෂිත ප්‍රකෝප වීම් හා අසභ්‍ය විහිළු හේතුවෙන් එහි රැකියාවේ යෙදී සිටි සේවක කාන්තාවන් හැකි සෑමවිටම ඔහුව මඟහැර තිබිණි. එම කාලයේදී, එනම් 1995 ජූනි මාසයේදී, ඔහු වාර්තා වල සඳහන් පරිදි දෙවැනි අපරාධය සිදුකළේ ය. නිවසකට කඩා වැදී, තුවක්කුවක් පෙන්වා 13 හැවිරිදි දැරියක් දූෂණය කළ අතර සාක්ෂි මඳකම හේතුවෙන් එහි නඩුවිභාග කල්දැමෙමින් පැවතිණි. මේ අතරතුර කාලයේදී එනම් 1996 දී, දහසය හැවිරිදි සොෆියා සිල්වා නම් දැරියක ඇගේ නිවසේ ඉදිරිපසදී පැහැරගෙන ගොස් තිබූ අතර ඇය පාසලේ ගෙදර වැඩ කිරීමට අවශ්‍ය බව පවසමින් එදින ආලින්දයට ගොස් තිබිණි. සොෆියාගේ සොයුරිය පිටතට ගිය විට ඇයට හමු වී තිබුනේ සොෆියා පිටතට ගෙන ගිය සෝඩා කෑන් එකක් සහ ඇගේ පන්ති සටහන් පොත් කීපයක් පමණි. සති කීපයකට පමණ පසුව සොෆියාගේ සිරුර ප්‍රදේශයේ මඩ වගුරක තිබී ප්‍රාදේශීය පොලිසිය විසින් සොයාගන්නා ලදී. ඒ වනවිටත් සිරුර දිරාපත් වීම ඇරඹී තිබුන නමුත් සිරුරේ ලිංගික ප්‍රදේශයේ රෝම ඉවත්කර තිබෙනු හා ඒ නිසා සිදුවූ කැපුම් පහරවල් පශ්චාත් මරණ පරීක්ෂණ වලදී නිරීක්ෂණය විය. නමුත් එම දැරියගේ ඝාතකයා සොයාගැනීමට පොලිසිය හා අනෙකුත් පරීක්ෂකයන් අපොහොසත් විය.

1997 වර්ෂයේදී මැයි 1 වන දින, තවත් සහෝදරියන් දෙදෙනෙකු පෙර පරිදිම පැහැර ගනු ලැබූ අතර ඔවුන්ද එම අවස්ථාවේ තම නිවසේ ඉදිරිපස මිදුලේ රැඳී සිට තිබිණි. පහළොස් හැවිරිදි ක්‍රිස්ටන් ලිස්ක් හා දොළොස් හැවිරිදි කැටී ලිස්ක් එම අවස්ථාවේ ඉදිරිපස උයනේ ක්‍රීඩා කරමින් සිටි බව ඔවුන්ගේ මව සාක්ෂි දීමේදී පවසා තිබිණ. ලිස්ක් සහෝදරියන්ගේ පැහැර ගැනීමෙන් සතියකට පමණ පසුව ඔවුන්ගේ සිරුරු දකුණු ඇනා නදියේ ( South Anna river ) පාවෙමින් තිබී සොයා ගන්නා ලදී. ලිස්ක් දැරියන්ගේද ලිංගික ප්‍රදේශවල රෝම ඉවත් කිරීම්, කැපීම් හා දූෂණයට ලක්වී ඇති බවට සාක්ෂි සොයාගන්නා ලදී. එකතු කරගත් සාක්ෂි මත පදනම්ව රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලය සිදුකළ පරීක්ෂණ වලින් පසුව, සොෆියා දැරියගේ හා ලිස්ක් සොයුරියන්ගේ ඝාතනවලට වගකිවයුතු පුද්ගලයා එකම කෙනෙකු බවට ප්‍රකාශ කරන ලදී. එසේම ලිස්ක් දැරියන් දෙදෙනාම එකවර පැහැර ගැනීමට නම් මෙය පුද්ගල කණ්ඩායමක් හෝ දැරියන් හොඳින් දැන හඳුනන කිසිවෙකු මෙම අපරාධ වලට සම්බන්ධ බවට අනුමාන කරන ලදී. නමුත් වසරක් පමණ ගෙවී ගියත් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. සිල්වා පවුල හා ලිස්ක් පවුල තවදුරටත් ශෝකයේ ගිල්වමින් දැරියන් තිදෙනාගේ ම නඩු විසඳුමක් පෙනෙන තෙක් මානයේ නැතිව කල් දැමෙමින් පැවතිණි.

1999 දී, රිචඩ් නැවත තම උපන්බිම වූ දකුණු කැරොලිනාවට වෙත සංක්‍රමණය විය. කිසිවක් සිදු නොවූ අයුරින් ජීවත් වූ ඔහු, පෙර පැවති චර්යා රටා පවා වෙනස් කරමින් අසල්වැසියන්ට හා මිතුරන්ට ද සාමාන්‍ය සුහදශීලී පුද්ගලයෙකු ලෙස අවුරුදු ගණනාවක් ජීවත් වී ඇත. මේ කාලයේදී රිචඩ් ට ඔහුගේ ක්‍රියාවන්ට හා පෙර වැරදිවලට වන්දි ගෙවීමේ දෛවෝපගත ආරම්භකයා හමුවිය.

දකුණු කැරොලිනාවේ ජීවත් වූ පහළොස් හැවිරිදි කාරා රොබින්සන් පාසලේ මෙන්ම අනෙකුත් මිතුරන් අතරේද දීප්තිමත් දැරියක් විය. අනාගතයේ ඇය රූමත් තරුණ වියකට උරුමකම් කියනු ඇතැයි කාරාගේ ළපටි පෙනුමෙන් පවා දිස්විය. 2002 වසරේ ග්‍රීෂ්ම ඍතුවේ දිනයක කාරා තම මිතුරියක හමුවීමට හා ඇගේ නිවසේ කාලය ගතකිරීමට සැලසුම් කළ අතර , ජූනි 24 දින මිතුරියගේ නිවසට ගොඩ වැදුණාය. මිතුරියගේ ගෙදරදොර වැඩවලට උදව් කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ කාරා රොබින්සන් නිවසින් පිටත මල් වලට වතුර දැමීමට පටන් ගත් අතර වැඩි වේලාවක් යන්නට පෙර Pontiac මාදිලියේ ෆයර්බර්ඩ් රථයක් ගෙවත්ත ඉදිරිපිට මාර්ගයේ නතර කරන ලදී. නගරය පුරා බෙදාහැරීමට බව පවසමින් සඟරා අතලොස්සක් ද රැගෙන මෝටර් රථයෙන් බැසගත් පුද්ගලයා ඇගේ දෙමාපියන් නිවසේ සිටිනවාදැයි විමසීය. මිතුරියගේ නිවස යැයි පැවසීමට පවා උත්සුක නොවූ කාරා, ඒ වෙලාවේ මිතුරියගේ දෙමාපියන් නිවසේ නොසිටිය නිසා “නැහැ” ලෙස උත්තර දී තිබිණි.

හදිසියේම, සඟරා අතරින් එලියට ඇදගත් කුඩා පිස්තෝලයක් කාරාගේ බෙල්ලට තැබූ මිනිසා ඔහු පැවසූ දෙයට ඇහුම්කන් දුන්නොත් ඇයට හානියක් නොවන බව පවසමින් මෝටර් රථයේ පිටුපසට නගින ලෙසට අණකර ඇත. ඉන්පසු කාරයේ පිටුපස තිබූ විශාල ඇසුරුම් බාස්කට් එකකට දැරියව දමා පියන වැසූ ඔහු මෝටර් රථය ධාවනය කළේය. රොබින්සන් දැරිය කම්පනයට පත්ව සිටියත් ඇගේ බුද්ධිමත් බව හා විමසිලිමත් බව නැති නොවීය. දිවි ගලවා ගැනීමේ අරමුණින් , කුඩා තොරතුරක් හෝ වැදගත් වනු ඇතැයි සිතූ ඇය අපරාධකරු පිළිබඳව ඇසෙන සියලු දේ මතක තබා ගැනීමට උත්සාහ කළාය. මෝටර් රථයේ ගුවන් විදුලියේ වාදනය වන ගීත සහ ඇය සිටි කූඩයේ අංකය ( Serial Number ) පවා ඇය මතකයේ තබාගෙන තිබිණි. ඇය නිරතුරුවම ” සන්සුන් වෙන්න, තොරතුරු රැස් කරගන්න , පැන යන්න” ලෙස සිතින් තමාටම පවසාගත් බවද එය තමාට එම බියකරු අවස්ථාවට මුහුණ දීමට උපකාර වූ බවද කාරා රොබින්සන් පසුව සඳහන් කර තිබිණි. රොබින්සන් දැරිය පැහැරගෙන ගිය විගස, ඇය මිදුලෙන් අතුරුදහන් වී ඇති බව මිතුරිය දුටු අතර ඇය රොබින්සන් දෙමාපියන් සහ තම දෙමාපියන් දැනුවත් කර තිබිණි. රොබින්සන් දෙමාපියන් ඉතා ඉක්මනින් ප්‍රාදේශීය පොලිසියට සිදුවීම දන්වා සිටි නමුත් පොලිස් නිලධාරීන් ඇයව පළා ගිය අයෙකු ලෙස පමණක් සලකා ලැයිස්තු ගත කර තිබිණි.

මේ අතර, රොබින්සන් දැරිය තම මහල් නිවසට ගෙන ගිය රිචඩ් ඉවොනිට්ස් පැය 18 ක කාලයක් පුරා වරින් වර ඇයට පහරදීම හා ලිංගික අතවර සිදුකළ අතර ඇයගේ පැහැරගැනීම පිළිබඳ වාර්තා තිබේදැයි බැලීමට ඔහු ඇයට සන්ධ්‍යා ප්‍රවෘත්ති නැරඹීමට ද සලස්වා තිබිණි. මිනිසා සමඟ සාමකාමීව සිටීමෙන් හා සාමාන්‍ය ලෙස කතාබහ කිරීමෙන් පහරදීම් වළක්වා ගත හැකි බව වටහාගත් රොබින්සන් දැරිය ඔහුගේ ජීවිතය ගැන සාමාන්‍ය පරිදි විමසා සිටියාය. ඒ අතරතුර ඇය ඔහුගේ මහල් නිවාසය පිරිසිදු කිරීමට උපකාර කරමින් ඔහු පිළිබඳව වැඩිදුර සොයාබලා තිබිණි. එමඟින්, ඔහු නාවික හමුදාවේ සේවය කර ඇති බව සොයාගත් අතර මුළුතැන්ගෙය පිරිසිදු කරන අතරතුර, ඇය ඔහුගේ තැපැල්පත්වල ලිපිනය පාඩම් කරගෙන තිබිණි. රිචඩ්ගේ වෛද්‍යවරයාගේ සහ දන්ත වෛද්‍යවරයාගේ නම් පවා ඇය මතක තබාගෙන තිබිණි.

දිනය අවසානයේදී, රිචඩ් ඉවොනිට්ස්, දැරියව නැවත ඇඳ මත මාංචු දැමූ අතර, ඔහු නිදා සිටියදී, ඇය කෙසේ හෝ මාංචු ඉවත් කර ගැනීමට සමත් විය. පැහැරගෙන පැය 18 ක් අවසානයේ නිදහස් වූ රොබින්සන් දැරිය මහල් නිවාසයෙන් පිටත මාර්ගයට ආරක්ෂාව පතා දිවගොස් තිබිණි. මාර්ගයේ ගමන්ගත් කාරුණික පුද්ගලයන් දෙදෙනෙකු ඔවුන්ගේ මෝටර් රථයෙන් දැරියව ළඟම තිබූ පොලිස් ස්ථානය වූ ලෙක්සින්ටන් වෙත ගෙනගොස් තිබිණි. එම අවස්ථාවේ පොලිසියේ සේවයේ යෙදී සිටි ජේම්ස් ආර්. මෙට්ස් හමුවූ ඇය කෙතරම් සන්සුන්ව, සංවිධානාත්මව සහ සවිස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කලේද යන්න පිළිබඳව තමා මවිතයට පත් වූ බව පොලිස් නිලධාරියා පවසා තිබිණි.

පොලිස් නිලධාරීන් ඉක්මනින් රිචඩ් ඉවොනිට්ස්ව හඳුනාගෙන, මහල් නිවාසය සොයාගෙන, අත්අඩංගුවට ගැනීමට සූදානම් වුවත් ඔවුන් පැමිණෙන විට රිචඩ් පලා ගොස් තිබිණි. ෆ්ලොරිඩාවේ ජැක්සන්විල් ප්‍රදේශයේ හෝටලයක සැඟවී සිටි රිචඩ් ඔහුගේ සහෝදරිය ජෙනිෆර්ට කතා කර තමා යමෙකු මරා දැමූ බවත්, කරදරයකට පත් වූ බවත්, ඇත්ත වශයෙන්ම මතක තබා ගත නොහැකි තරම් අපරාධ සිදුකළ බවත් පාපොච්චාරණය කර තිබිණි. ඔහු ෆ්ලොරිඩාවේ එක්තරා අවන්හලකදී ඇයව හමුවීමට ඉල්ලා සිටි අතර ජෙනිෆර් එය පොලිසියට දන්වා තිබිණි. රිචඩ් අවන්හල වෙත ළඟා වූ විට, පොලිසිය එහි රැඳී සිටිනු දැක පලා ගිය නමුත් ඔවුන් ඔහුව කොටු කරගත් බව දැනගත් පසු ඔහුගේ පිස්තෝලයෙන්ම හිසට වෙඩි තබා ගෙන දිවිනසා ගත්තේය.

රිචඩ්ගේ මරණයෙන් පසු “America’s Most Wanted” වැඩසටහනට කාරා රොබින්සන් එක්වූ අතර” මට නඩු විභාගයට යාමට අවශ්‍ය වුණා, ඔහුට මාව නැවත දකින්න දීමට සහ මා ඔහුගේ අවසානයට හේතුව බව දැනවීමට, ඒ වගේම මාව තෝරා ගැනීම ඔහු කළ ලොකුම වැරැද්ද බව ඔහුට තේරුම් කිරීමට මට අවශ්‍ය වුණා” යනුවෙන් ඇය වැඩසටහනේදී පවසා තිබිණි.

රිචඩ්ගේ සියදිවි නසාගැනීමෙන් පසු, පොලිසිය ඔහුගේ මහල් නිවාසය පරීක්ෂා කළ අතර ලිස්ක් සහෝදරියන් සහ සොෆියා දැරියට අයත් ඇඳුම් හා ඔවුන්ගේ DNA සහිත විවිධ භාණ්ඩ සොයා ගන්නා ලදී. රිචඩ් වර්ජිනියාවේ සිට නැවත ෆ්ලොරිඩාවට පැමිණෙද්දී ඒ සියල්ලද රැගෙන විත් තිබිණි. ඊට අමතරව අයිතිකරුවන් හඳුනාගැනීමට නොහැකි තවත් ගැහැණු ඇඳුම් කට්ටල, විසිතුරු ආභරණ හා පාවහන් මහල් නිවසෙන් සොයාගන්නා ලදී. රිචඩ්ගේ දිනපොත් සටහන් වල විස්තර කර ඇති නමුත් ඔහුගේ ගොදුරු බවට පත් නොවූ නව යොවුන් වියේ ගැහැණු ළමුන්ද විශාල ප්‍රමාණයක් සොයාගන්නා ලදී. රිචඩ් ඔහුගේ අපරාධ පාපොච්චාරණය කිරීමට පෙර මිය ගිය නිසා, ඔහුගේ ජීවිත කාලය තුළ ඔහු කොපමණ දැරියන් ප්‍රමාණයක් ඝාතනය කළාද යන්න පැහැදිලි වී නැති අතර තවමත් නොවිසඳුණු අපරාධ කීපයකටම රිචඩ්ගේ සම්බන්ධයක් ඇතැයි පොලිසිය සැක පහළ කර තිබිණි.

1993 දී ෆ්ලොරිඩාවේ පැස්කෝ ප්‍රාන්තයේ ඇගේ නිවස ඉදිරිපිට බස් නැවතුමෙන් අතුරුදහන් වූ 12 හැවිරිදි දැරියක වන ජෙනිෆර් ඔඩම්ගේ ඝාතනය සම්බන්ධයෙන්, පැහැරගෙන ගොස්, ලිංගික අතවරයකට ලක් කර ඝාතනය කර තිබුණු දොළොස් හැවිරිදි සාරා චෙරී දැරිය සම්බන්ධයෙන් හා 1988 දී මේන් හිදී අතුරුදහන් වූ තවත් යොවුන් දැරියන් කිහිප දෙනෙකුගේ සිදුවීම්වලටද රිචඩ්ගේ සම්බන්ධයක් තිබිය හැකි බවට සැක කරන ලද්දේ පරිවාසයෙන් මිදුණු වහාම රිචඩ් ඒ අසළ වාසය කර ඇති බවද සොයාගත් පසුවය.

මෙම සිදුවීමෙන් වසර විස්සකට වැඩි කාලයකට පසු 2023 වසරේදී කාරා රොබින්සන්ගේ කතාව The Girl Who Escaped ලෙස චිත්‍රපටයකට නඟා , තිරගත කර ඇත.

2010 දී කාරා රොබින්සන් දකුණු කැරොලිනාවේදී අපරාධ යුක්තිය පිළිබඳ ආයතනයෙන් ( South Carolina Criminal Justice Academy ) ඇගේ උපාධිය ලබා ගත් අතර මේ වන විට ඇය දෙදරු මවකි. එසේම වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටින්නියක් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක ලෙස අපරාධවලට එරෙහි වීමට, ප්‍රචණ්ඩත්වයෙන් අන් අයව ආරක්ෂා කිරීමට ඇය දැනටත් උත්සුක වෙයි.

” Survived a serial killer but that’s not all “
මේ ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සඳහන් පාඨයකි .

සාරා වනිගසිංහ ලියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles