“යුක්තියේ” අයුක්තිය ගැන එක්සත් ජාතීන් පවා කණස්සල්ල පළ කරයි

මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ වැ.බ. පොලිස්පති දේශබන්දු විසින් ආරම්භ කර ක්‍රියාත්මක කරන යුක්තිය නම් මෙහෙයුම සම්බන්ධයෙන් බොහෝ විවේචන පළ වුණා. මත්ද්‍රව්‍ය සහ පාතාලයේ තෝරු මෝරු මගහැර හාල්මැස්සන් පමණක් අල්ලන බවත්, හිතාමතා මහජනතාව පීඩාවට පත් කරන බවත්, වැ.බ. පොලිස්පති ධුරයෙන් පොලිස්පති ධුරය වෙත යෑම පිණිස කරන මාධ්‍ය සංදර්ශනයක් බවත් කියමින් විවේචනයට බඳුන් වුණා.

අලුත් ම තත්වය නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්බන්ධ මහකොමසාරිස් වෝකර් ටකර් ද මේ සම්බන්ධයෙන් බරපතළ ලෙස අවධාරණය කරමින් නිවේදනයක් නිකුත් කර තිබීමයි.

ඔහු එකී නිවේදනය හරහා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගැටලුවට මැදිහත් වීමේදී මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශයක් අවශ්‍ය බවයි. යුක්තිය නම් මෙහෙයුම නැවත තක්සේරු කරන ලෙසත් ඔහු ඉල්ලා තිබෙනවා. මෙකී මෙහෙයුම තුළ බලය අනිසි ලෙස භාවිතය, වධහිංසා පැමිණවීම, නෛතික තත්වයන් ප්‍රතික්ෂේප කිරීම, සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමේ අයිතිය අභියෝගයට ලක් වීම ආදිය සිදුවීම පිළිබඳ එකී නිවේදනයේ බරපතළ කනස්සල්ල පළ කර තිබෙනවා.

මෙම මෙහෙයුමේදී ආරක්ෂක අංශ විසින් සෝදිසි වරෙන්තු නොමැතිව සිවිල් පුරවැසියන් පරීක්ෂා කිරීම, අනවසර සෝදිසි, අත්තනෝමතික රඳවා තබා ගැනීම්, නිරුවත් කර සෝදිසි කිරීම් ඇතුළු කරුණු ගණනාවක් වාර්තා වීම ගැනද ඔවුන් අවධානය යොමු කරනවා.

මත්ද්‍රව්‍ය විකිණීම හෝ ජාවාරම් කිරීම සම්බන්ධ සැකකරුවන්ටද මානුෂීය සැලකුම් ලැබීමට හිමිකම් තිබෙන අතර නියමිත ක්‍රියාවලියට අනුව පූර්ණ ගෞරවයෙන් සහ විනිවිදභාවයෙන් සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමේ අයිතියද ඇති බව එම නිවේදනයේ දක්වා තිබෙනවා.

කෙසේ වෙතත්, අප හා අදහස් දැක්වූ මෙරට මානව හිමිකම් ක්‍රියාධරයෙකු කියා සිටියේ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ පෞද්ගලික අභිලාශ වෙනුවෙන් රටක් අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට සමීප බව කියන ජනපතිවරයා මුනිවත රැකීම විසිළුසහගත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles