ඩලස් – විමල් දීගයට කණ කොකා හඬයි

විමල් වීරවංශ ඇතුළු පිරිසක් දේශපාලන කණ්ඩායමක් ලෙස එක්ව සිටින උත්තර ලංකා සභාගයට තවත් දේශපාලන කණ්ඩායම් එක් කර සන්ධානයක් නිර්මාණය කර ගැනීමේ මෙහෙයුමක් පසු ගිය කාලයේ දියත් කෙරුණා. එයට ඩලස් අලහප්පෙරුම නායකත්වය දුන් නිදහස ජනතා සභාවේ ඉතිරි මන්ත්‍රීවරුන් කිහිප දෙනා එක් වෙන බවයි ආරංචි පළ වූයේ. තවමත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් දීම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා විසින් කර අරින බවයි දැනගන්නට ඇත්තේ.

විමල්, වාසු, වීරසුමන, ගෙවිඳු, ගම්මන්පිල, රතන හිමි ඇතුළු පිරිස සිටින උත්තර ලංකා සභාගයට දයාසිරි ජයසේකරගේ මානුෂීය සභාවත්, රොෂාන් රණසිංහත් එක් වන බව පැවසුණා. එසේ ම නිදහස ජනතා සභාවෙන් කැඩී ගිය ඩිලාන්, ජී.එල් ඇතුළු පිරිසගෙන් පසුව ඩලස්ට ඉතිරි වී සිටින පිරිස පෙර කී පිරිස සමග එක්ව දේශපාලන සන්ධානයකට යනු ඇති බවයි කලින් වාර්තා වූයේ.

මේ පිරිස විවිධ ප්‍රධාන පක්ෂවලින් කැඩී ගොස් සිටින දේශපාලන සරණගාතයන් පිරිසක් බවත් ඔවුන්ගේ මූලික දේශපාලනය ජාතිවාදය පාවිච්චි කරමින් බලය ලබා ගැනීම බවත් මේ වන විට රටේ ඔවුන්ගේ මතවාදයෙන් සිදුව ඇත්තේ විශාල විනාශයක් බැවින් ඔවුන්ගේ ජනප්‍රියතාව හීන වීම නිසා කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් ඔවුන් එක් කර ගැනීමට මැළි වන බවත් කියා සිටි දේශපාලන විචාරකයෙක් පැවසුවේ මෙම කණ්ඩායමේ දේශපාලනයට තීරණාත්මක අවස්ථාවක් එළැඹ ඇති බවයි.

කෙසේ වෙතත්, ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ ප්‍රධාන පක්ෂවලින් කැඩී ගොස් සිටින සියලු දෙනා එක් කරගෙන විමල් වීරවංශ ජනපතිවරණයට ඉදිරිපත් කිරීමට කර සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන එය ඉදිරියට දමමින් මහමැතිවරණයෙන් ආසන ගණනාවක් ලබා ගැනීමටයි.

කෙසේ වෙතත්, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙම අනාගත සභාගයේ ද නායකත්වය අපේක්ෂා කිරීම මේ දීගයට කණ කොකා හැඬීමට හේතුව බව දැනගන්නට ලැබෙනවා. විමල් වීරවංශ නායකත්වය ඩලස් වෙත දීමට කිසිසේත්ම සූදානම් නැති බැවින් ඩලස් ඇතුළු පිරිස මේ සභාගයට එක් වීම සිදු නොවෙන පැත්තට ගොස් ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles