ශ්‍රී ලාංකික දෘශ්‍ය කලාවේ විශිෂ්ටත්වය කරළියට ගෙන ආ ‘කලා පොළ 2024’

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන ‘කලා පොළ’ – 2024 වැඩසටහනේ 31 වන අදියර පසුගියදා කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි. මෙයට කලාකරුවන් වෙතින් මෙන්ම නරඹන්නන් වෙතින් උණුසුම් ප්‍රතිචාර හිමි වූ අතර, එහි අලෙවියේ සමස්ත වටිනාකම රු, මිලියන 51 ඉක්මවී ය (මෙම අගයට නව නිර්මාණ සඳහා ලබාදෙන ලද ඇණවුම්වල වටිනාකම ඇතුළත් නැත).

ශ්‍රී ලංකාවේ විශාලතම මෙන්ම දීර්ඝතම කාලයක් පැවැත්වුණු එළිමහන් කලා ප්‍රදර්ශනය ලෙස සැලකෙන කලා පොළ ප්‍රදර්ශනයට වසර 31 ක ඉතිහාසයක් ඇත. මෙය ශ්‍රී ලංකාවේ චිත්‍ර හා මූර්ති ශිල්පීන්ට ගැනුම්කරුවන් මෙන්ම ක්ෂේත්‍රයේ වෙනත් වෘත්තිකයන් හා කලාකරුවන් සමග සම්බන්ධ වීමට ලැබෙන අගනා අවස්ථාවකි. ජෝර්ජ් කීට් පදනම සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය අතර පවතින දීර්ඝකාලීන හවුල්කාරීත්වයක ප්‍රතිඵලයක් වන කලා පොළ ප්‍රදර්ශනයට මෙවර චිත්‍ර හා මූර්ති ශිල්පීන් 368 දෙනෙක් සහ නරඹන්නන් 38,000 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙහි නිල උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහභාගී වූ අතර, ඊට අමතරව ජෝර්ජ් කීට් පදනමේ සභාපති මාලක තල්වත්ත මහතා, එම පදනමේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයන්, ජෝන් කීල්ස් පදනමේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ එම සමූහයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක්ද ඊට එක්වූහ.

මෙහිදී අදහස් දැක්වූ ජෝර්ජ් කීට් පදනමේ සභාපති මාලක තල්වත්ත මහතා මෙසේ පැවසී ය. “ප්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක් පැමිණියා. කලාව පැවතිය යුත්තේ සියලුම දෙනා වෙනුවෙන් බවත්, සෑම කලාකරුවෙකුටම තම කලාකෘති ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් තිබිය යුතු බවත් මා අප දැඩි ලෙස විශ්වාස කරනවා. කලා පොළ යනු මේ විශ්වාසය මුල්කරගත් ප්‍රදර්ශනයක්. ආරම්භයේ සිට මේ දක්වා, විශේෂයෙන්ම අපගේ හවුල්කරු වන ජෝන් කීල්ස් සමූහයේ සහයෝගය හේතුවෙන්, මෙම ප්‍රදර්ශනය දැවැන්ත වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. ඔබ අද මේ දකින මට්ටම දක්වා මෙය දියුණු කිරීමට ඔවුන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළා. 1993 වසරේදී මෙම ප්‍රදර්ශනයට සහභාගී වූයේ කලාකරුවන් 30 දෙනෙකු පමණයි. අද වනවිට එම සංඛ්‍යාව 350 ඉක්මවා තිබෙනවා.”

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙහිදී මෙසේ අදහස් පළකළේ ය. “මෙවැනි ප්‍රයත්නයන් මගින් චිත්‍ර කලාව ප්‍රදර්ශන ශාලාවන්ට සීමා නොකර ජනතාව අතරට ගෙනයාමට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේවා බෙහෙවින් වැදගත්. මෙම ප්‍රදර්ශනයේ ආකෘතිය සහ එහි Uncurated ක්‍රමවේදය, ස්වාභාවිකත්වය සහ ස්වයංසිද්ධතාව මුසුකිරීමට සමත් වන අතර, එය කලාංගයන්ගේ අනිවාර්ය ලක්ෂණයක් විය යුතුයි. කලාව යනු හුදු විනෝදයෙන් ඔබ්බට විහිදෙන දෙයක්. එය සමාජ කතිකාවන් සඳහා උත්තේජනය සැපයීමක්, වෙනසක් සඳහා දිරිගැන්වීමක්, ඒකාකෘතිකරණයට අභියෝග කිරීමක් සහ නව අදහස් සඳහා තෝතැන්නක් විය හැකියි. මේ ආකාරයට එකට එක් වී කලා පොළ ප්‍රදර්ශනය දියුණු කිරීම සඳහා ජෝර්ජ් කීට් පදනම සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය කටයුතු කර ඇති ආකාරය ප්‍රශංසනීයයි.”
ජෝන් කීල්ස් පදනමේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය මෙසේ අදහස් පළකළා ය. “කලා පොළ 2024 මෙතරම් සාර්ථක වීම අපට මහත් සතුටක්. අප ‘කලාව හා සංස්කෘතිය’ අංශය යටතේ වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇති අතර, කලා පොළ ඒ අතරින් විශේෂ තැනක් ගන්නවා. මෙය මෙරට කලාකරුවන්ගේ ජීවනෝපාය නැංවීම, රටේ කලාව හා සංස්කෘතිය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම, සහ කලාත්මක හා නිර්මාණාත්මක ප්‍රකාශනය තුළින් සමාජ ඒකාබද්ධතාවය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරන වැඩසටහනක්. මේ ඔස්සේ රටේ නිර්මාණාත්මක ආර්ථිකයන්ගේ වර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාලයි.”

කලා පොළ 2024 වැඩසටහනට සහභාගී වූ චිත්‍ර ශිල්පිනියක වන ස්වර්ණා අබේතුංග මහත්මිය ඒ සම්බන්ධයෙන් අදහස් පළකළේ මෙසේ ය. “මෙතරම් විධිමත් සහ කාර්යක්ෂම ලෙස මෙම වැඩසටහන පැවැත්වීම සම්බන්ධයෙන් මෙහි සංවිධායකවරුන්ට අපගේ ස්තූතිය හිමි විය යුතුයි. වෙනස්කොට සැලකීමකින් තොරව ශ්‍රී ලංකාවේ සියලුම කලාකරුවන්ට සමාන අවස්ථා ලබාදෙන එකම වැඩසටහන මෙය ලෙස හැඳින්වීමට පුළුවන්. කලාකාරිනියක ලෙස මා කලා පොළ වැඩසටහනට සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙය බෙහෙවින් සාර්ථක වීම මට මහත් සතුටක්.”

Elephant House හි දායකත්වයෙන් සහ Cora Abraham Art School හි ගුරුවරුන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලද ‘Children’s Art Corner’ වැඩසටහනට එදින දවස පුරා දරුදැරියන් 165 දෙනෙක් සහභාගී වූහ. එහිදී ඔවුන්ට ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය භාවිතයෙන් කලා නිර්මාණ සිදුකිරීම සඳහා මගපෙන්වන වැඩමුළුවක්ද පැවැත්විණි. මෙම වැඩසටහනට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්තුමන් සහ ජෝන් කීල්ස් සමූහයේ සමූහාධිපතිවරුන්ද සහභාගී වූ අතර, වැඩසටහනට සහභාගී වූ දරුවන්ට ජෝර්ජ් කීට් පදනම විසින් වටිනා සහතිකපත් හා ත්‍යාගද පිරිනමන ලදි.

කලා පොළ වැඩසටහනේදී සමකාලීන කලාව සම්බන්ධයෙන් ආචාර්ය ප්‍රියන්ත උඩගෙදර විසින් දේශනයක්ද පවත්වන ලද අතර එය මෙහෙයවන ලද්දේ කසුන් ජයමාන්න විසිනි. ඊට අමතරව චිත්‍ර එකතුවක් නිර්මාණය කරගන්නා ආකාරය සම්බන්ධයෙන් මාලක තල්වත්ත මහතා සිදුකළ දේශනය නදීජා තම්බයියා විසින් මෙහෙයවන ලදි.

වැඩසටහන අවසානයේදී සාම්ප්‍රදායික නර්තන, වාදන සහ ගායන ඇතුළත් කලා ප්‍රසංගයක්ද පැවැත්විණි.
කලා පොළ 2024 වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් 123 ක් දෙනෙක් ස්වේච්ඡාවෙන් දායක වූහ.

කලා පොළ වැඩසටහනට සමගාමීව ජෝන් කීල්ස් පදනමේ සත්කාරකත්වයෙන් පවත්වාගෙන යනු ලබන https://www.srilankanartgallery.com වෙබ් අඩවිය තුළ වසර පුරාම තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට කලා ශිල්පීන්ට අවස්ථාව හිමි වේ.

කලාව හා සංස්කෘතිය යනු, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ හයෙන් එකකි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 18 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව හතරවන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles