පාලිත තෙවරප්පෙරුමගේ ජීවිතය ගැන කෙටි සටහනක්

සහෝදර සහෝදරියන් අට දෙනෙකු ගෙන් යුත් පවුලක හත්වැනියා ලෙස පාලිත කුමාර තෙවරප්පෙරුම  1960 මැයි 03 වැනිදා ඉපදුණා. තරුණ වියේදී ම නාවුක හමුදාවට එක් වූ ඔහු එයින් කෙටි කලෙකින් ඉවත් ව තිබෙනවා.

ඔහු 2004 දී  මතුගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙස කටයුතු කළ මහින්ද සමරසිංහ  සමග දේශපාලනයට එක් වුණා. පසුව ප්‍රාදේශීය සභා ඡන්දයෙන් ජය ගෙන මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවට පත් වුණා. පාලිත තෙවරප්පෙරුම ජනතා නියෝජිතයෙකු විලස සිය කාර්යභාරය  ඉටු කරනුයේ මේ තනතුර ලැබීමෙන් පසුවයි. 

ඉන් වසර හතරකට පසු 2008 වසරේ දී  බස්නාහිර පළාත් සභාවට තේරී පත්වුණු ඔහු 2010 දක්වා පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා.

ඉන් පසු 2010 මහමැතිවරණයට තරඟ කරමින් පාලිත තෙවරප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත් වෙනවා. ඒ  මනාප 51,153 ලබා දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වෙමින්.  කම්කරු සහ සමාජ සවිබල ගැන්වීම් සහ  සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ ඔහු දිව්රුම් දෙන්නේ, දේශපාලනයට පිවිස ඉතා කෙටි කලෙකින්.

තෙවරප්පෙරුම 2015 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ද  ඉදිරිපත් වුණා. මනාප 118,128 ක් ලබා ගනිමින් කළුතර දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානයට පත්වීමට ඔහුට එහිදී හැකි වුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මෙන්ම යහපාලන ආණ්ඩුව නියෝජනය කරමින් පාලිත තෙවරප්පෙරුම  නියෝජ්‍ය අමාත්‍ය ධුර දරනු ලැබුවා.

පසුව  2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළද ඔහුට නැවත පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව අහිමි වුණා.

දේශපාලඥයෙකු ලෙස පාලිත තෙවරප්පෙරුම ආන්දෝලනාත්මක සිදුවීම්වලට සම්බන්ධ වීම නිසා අවස්ථා කිහිපයක දී රක්ෂිත බන්ධනාගාර ගතවීමට ද සිදු වෙනවා.

2010 වසරේ පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වන විටත් පාලිත තෙවරප්පෙරුම දින 400 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියා. ඒ  දේශපාලන පළිගැනීමක් කළ බවට එල්ල කෙරුණු චෝදනාවක් හේතුවෙන්.

2016 වසරේ දී කළුතර මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාවක් නිසාවෙන්ද එවක නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම රක්ෂිත බන්ධනාගාර ගත කළා. එම පාසැලට සිසුන් කිහිප දෙනෙකු ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා ඔහු  ගෙල වැල ලා ගැනීමට උත්සාහ කිරීම නිසාවෙන්.

 2019 වර්ෂයේදී මතුගම, නෑබඩ ප්‍රදේශයේ වත්තක පුද්ගලයෙකු මිය යෑමෙන් අනතුරුව එම වත්තේ පිහිටි සුසාන භූමියේ දේහය භූමදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනෙකු නැවත  රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ දී ඇතිවූ ගැටුම්කාරී සිදුවීම්වලට සම්බන්ධවීම නිසා පාර්ලිමේන්තු  තහනමකටද ඔහුව ලක් කරනු ලැබුවා.

ජනතාව අතරට ගොස් ඔවුන්ට සහය දීම සම්බන්ධයෙන් තෙවරප්පෙරුමට ඇත්තේ වටිනා ඉතිහාසයක්. එය ආරම්භ වන්නේ 1995දී පමණ.

1995 දී වලගෙදර මූනමල්වත්ත පාළම අසල දී ලංගම බසයක් පෙරළී ගඟට වැටීම නිසා විනාශ වන්නට ගිය ජීවිත බේරා ගැනීමට ඔහු ක්‍රියාකිරීම අදටත් කතා බහට ලක් වෙනවා.

 2020 වසරේදී ඇතිවූ කොවිඩ් වසංගතය සමග පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අසරණභාවයට පත්වූ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා ඔහු මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවා. කොරෝනා මරණ අදාහනයේ දී පාංශුකූලය පවා දීමට නොහැකි වූ තැන භික්ෂුන් වහන්සේලා වැඩමවා ඒ කටයුතු පවා කර දීමට ඔහු කැපවී ක්‍රියාකළා.

එමෙන්ම ගංවතුර ඇතුළු ස්වාභාවික ව්‍යවසනයන්වලදී අවතැන්වූ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සඳහා ඔහු සක්‍රීයව කටයුතු කිරීම කතාබහට ලක් වූ සිදුවීමක් වුණා.

2014 වසරේ ජුනි 15 සහ 16 වෙනි දිනවල බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල හටගත් ජාතිවාදී ගැටුම් ඇති කෙරුණා. ඒවා මැඩ පැවැත්වීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාලිත තෙවරප්පෙරුම සක්‍රීයව මැදිහත් වුණා. එය ජාතිවාදය පිටු දකින බොහෝ දෙනාගේ ඇගයීමට ලක් වුණා.

මිය යන විට 64 වන වියේ පසු වූ පාලිත තෙවරප්පෙරුම දෙදරු පියෙක්  වන අතර ඔහුගේ  වැඩිමල් දරුවා 2015 වසරේ දී මියගියා. එම සිදුවීම ඔහුගේ ජීවිතයේ බරපතළ වෙනසක් සටහන් කෙරුණු එකක් වුණා.  

තෙවරප්පෙරුම ජීවත්ව සිටි කාලයේදීම  තම මළසිරුර තැන්පත් කිරීම සඳහා මතුගම යටදොළවත්ත ප්‍රදේශයේ ඔහුට අයත් විශාල වත්තක වැවක් අසල නිසල නිවහන නමින් විශේෂ ස්ථානයක් සැකසීමට පියවර ගෙන තිබුණා. සිය දේහය  තැන්පත් කිරීමට  රැගෙන එන පුද්ගලයන් සඳහා කුලී මුදල් පවා ගෙවා ඇති බවයි සඳහන් වෙන්නේ.

මහජන නියෝජිතයෙකුගේ සැබෑ කාර්යභාරය ගැන සැලකීමේදී පාලිත තෙවරප්පෙරුමගෙන් ඊට සාධාරණයක් වූ බව කිව නොහැකියි. මෙරට මහජන නියෝජිතයන් සාතිශය බහුතරයක්ද එම කාර්යභාරය නිවැරදිව සිදු කරන්නේ නැහැ. කෙසේ නමුත් ජනතාව අතර හිඳ ජනතා සුබ සෙත වෙනුවෙන් කටයුතු කිරීමෙහි ලා අවංකව මැදිහත්වී පාලිත තෙවරප්පෙරුම කළ කාර්යභාරය අනුව ඔහු ජනතාවගේ මිනිසෙක් බව නම් කිව යුතු යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles