කාදිනල් හිමිගෙන් ගෝඨාට දෝස්මුරයක්

පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් පොලීසියේ උසස් නිලධාරීන් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොමිෂන් සභාව ඉදිරිපත් කර තිබු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සිය ධුර කාලය තුළදී කටයුතු නොකළේ මන්දැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් තමා ප්‍රශ්න කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරම්භ කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත් ඉහළින් සිදුකරගෙන යන බවද නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් හිමිපාණන් සඳහන් කරනවා.

කාදිනල් හිමියන් මෙම නිවේදනය නිකුත් කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 25 වෙනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමින්.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 5ක් සපිරීම නිමිත්තෙන් අප්‍රේල් 21 වැනි ඉරිදා පැවති වැඩසටහනකදී කාදිනල් හිමි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශන යටපත් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ බවට චෝදනා කළා.

එහිදී ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අසීරු යැයි හිටපු ජනාධිපතිවරයා තමන් වෙත දුරකතනයෙන් අමතා දැනුම් දුන් බවද කාදිනල් හිමි කියා සිටියා.

කෙසේ වෙතත් කදිනල් හිමියන් එම චෝදනා සිදුකර දින 04කට පසු ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර එහි දැක්වුණේ එවන් ප්‍රකාශයක් තමන් විසින් සිදු නොකළ බවයි.

කෙසේ වෙතත් එවැනි ඇමතුමක් හිටපු ජනාධිපතිවරයා තමන්ට ලබාදුන් බව යළිත් තහවුරු කරන කාදිනල් හිමියන්, අදාළ ඇමතුමේදී ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තුළ තහනම් කරන ලෙස නිර්දේශ කර තිබු මුස්ලීම් ජාතිකයන් අතර වෛරය පැතිරවීමට මුල්වූ ප්‍රතිවිරුද්ධ සංවිධානයක් තහනම් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අකමැත්ත පළ කළ බව පවසනවා.

“පාස්කු කොමිසමේ වාර්තාවේ 25 වන පරිච්ඡේදයේ ඉස්ලාම් අන්තවාදී සංවිධාන තහනම් කළ යුතු බවට ප්‍රකාශ කර තිබෙන අතර ඒ සමග තහනම් කළ යුතු වෙනත් සංවිධානද නම්කර ඒවායේ විස්තරද දීර්ඝ ලෙස හුවා දක්වා ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එදා මා හට දුරකථනයෙන් ප්‍රකාශකර සිටියේ ඒ සංවිධාන තමන්ට හිතවත්වීම නිසා ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට යෝජනා කර ඇති ක්‍රියාදාමයන් ඉටුකළ නොහැකි බවයි. එම සංවිධානයට හිටපු ජනාධිපතිවරයා කිට්ටුවෙන් සම්බන්ධවූ බව අප තේරුම් ගන්නේ ඔහු විසින් එම සංවිධානයේ ලේකම්වරයා, පසු කලෙක “එක රටක් එක නීතියක් ” යන කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කරන්නට යෙදුණු නිසාය.” යනුවෙන් අදාළ නිවේදනයේ දැක්වෙනවා.

පාස්කු ප්‍රහාරය දියත් කළ ත්‍රස්තවාදීන්ට මෙන්ම, ඒ අයට විරුද්ධව ක්‍රියාකාරී නොවු විවිධ පාර්ශ්වයන් විවේචනය නොකර කාදිනල් හිමි තමන්ට පමණක් දොස් නගන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නගන චෝදනාව ද සත්‍යයෙන් තොර බව කාදිනල් හිමි සිය නිවේදනය තුළින් පෙන්වා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles