සංචාරක කර්මාන්තයට ම කෙළවා දමන වීසා මගඩිය: ආගමන-විගමන නිලධාරියෙක් ලියූ සටහනක්!

මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන වීසා අයැදුම් කිරීමේ ක්‍රමවේදය පෞද්ගලික සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් ආගමන-විගමන නිලධාරියෙකු ලියූ සටහනක් අප වෙත ලැබී තිබෙනවා.

සංස්කරණය නොකරන ලද එම සටහන පහතින්,

අපි හැමෝම දන්නවා සංචාරක කර්මාන්තය කියන්නෙ අපේ රටට විශාල මුදලක් ගලා ගෙන එන, තවත් දියුණු කළ හැකි වටින ක්ෂේත්‍රයක්. හැම රජයක්ම එක එක තීරණ ඒ වෙනුවෙන් අරන් තියෙනවා.

ලංකාවට එන සංචාරකයෙකුට ඉතාම සුමට ක්‍රමවේදයක් මඟින් වීසා ලබාගැනීමෙ හැකියාවක් 2012 දි ආපු online visa ක්‍රමය යටතේ ලැබුණා. ඒ තමයි www.eta.gov.lk. සම්පූර්ණයෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය එක්ක සිදුකරපු මෙම ක්‍රමවේදය මඟින් විනාඩි කීපයකින් සංචාරක වීසාවක් අයදුම්කිරීමේ හැකියාව ලැබුණා. එමෙන්ම ආරක්ෂක හේතුමත නියාමන ලැයිස්තුවේ තිබුණ රටවල් කීපයට වුණත් පැය 48-72 අතර වීසා එකක් අනුමත වීමේ අවස්ථාවක් ඒ හරහා තිබුණා.

කිසිම සැඟවුණු ගාස්තුවක් නැතුව SAARC රටවල් සඳහා දින 30 ක වීසා සඳහා $20 කුත් අනෙකුත් රටවල් සඳහා $50 මුදලකුත් අය කළා. එමෙන්ම වයස අවුරුදු 12ට අඩු දරුවන්ට සහ Transit මගීන්ට නොමිලේ වීසා ලබාදීමක් මේ හරහා සිදු කළා. මේ ආදායම සෘජුවම භාණ්ඩාගාරයට ලැබුණු මුදල්.

එහෙම නොමැති නම් on arrival visa එකක් ගුවන්තොටුපලට පැමිණි විගස ඉතාම කෙටි කාලයකදී ( Documents ගැටලු නැතිනම් විනාඩියකටත් වඩා අඩු කාලයක්) ලබාගැනීමේ හැකියාවක් තිබුණා. මේ කිසිම දෙයක් සඳහා ඊට අදාළ නිලධාරීන් කිසිදු දීමනාවක් පවා නොලැබ එහෙත් ඉතාම සුමටව, කාර්‍යක්ෂමව කරගෙන ආ ක්‍රමවේදයක්. පසුගිය මාස කීපයේ ඉන්දියාව, චීනය ඇතුළු රටවල් 7කට වීසා නොමිලේ ලබාදීමට රජය තීරණය කළා. ඒ අනුව විශාල වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණි ඉන්දියාව, චීනය, රුසියාව වගේ රටවල් වලට පුළුවන් උනා කිසිම ගෙවීමකින් තොරව මෙරට තුළ සංචාරය කරන්න

හැබැයි අප්‍රේල් මාසෙ 16 ඉඳන් ආගමන විගමන නිලධාරීන් පවා දැනුවත් නොකර එක්වරම තෙවෙනි පාර්ශ්වයකට මේ ක්‍රියාවලිය බාර දෙන්න අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලැබිලා ඒක ක්‍රියාත්මක කරනවා. ඒ තමයි VFS එක.

දැන් හැම වීසා එකකටම අලුතෙන් එකතුවුණු service charge එකක් සහ convenience fee එකක් අදාල ආයතනයෙන් අයකරනු ලබනවා. SAARC රටවල සංචාරකයන් වීසා ගාස්තුවට අමතරව $22 ක මුදලක් අදාළ ආයතනයට ගෙවිය යුතුයි. ඒ වගේම වෙනත් රටක නම් සංචාරක වීසා ගාස්තුවට තවත් අමතර $ 25ට වැඩි මුදලක් ගෙවිය යුතුයි.

ඒ අනුව සංචාරක වීසා සඳහා මුළු ගාස්තුව මේ වනවිට $100.77 බවට පත්වෙලා. මේකෙන් $25 අදාල ආයතනයට යන්නෙ.

මීට අමතරව මේ වෙනකන් වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා නොමිලේ දීපු වීසා එකටත් අදාල ආයතනයේ convenience fee එක ගෙවිය යුතුයි. මේ දිනවල ඉන්දියාව, රුසියාව, චීනය ඇතුළු රටවල් 7ක් visa ගාස්තු වලින් නිදහස් කරලා තියෙන්නෙ සංචාරක ප්‍රවර්ධනය සඳහා. හැබැයි මේ අලුත් ක්‍රමවේදය අනුව රජය වීසා free කරලා කිසිම ආදායමක් ඉන් නොලබද්දීත් අදාළ ආයතනය අවම $22ක මුදලක ආදායමක් එක මගියෙක්ගෙන් ලබනවා.

ලංකාවට වැඩිම සංචාරකයො ආවෙ 2018. ඒ මිලියන 2.3ක්. අනුමාන කරනවා ඊළඟ වසර වෙද්දි මිලියන 3ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණේවි කියලා. එතකොට අවම වශයෙන් ඩොලර් මිලියන 66ක් වෙනත් රටක ආයතනයක් ලබනවා. ඒක රුපියල් වලින්නම් මිලියන 20,000 විතර මුදලක්. ඕකෙන් කීයක් අදාළ අයට යනවද කියන එක තමා අහන්න ඉතුරුවෙලා තියෙන්නෙ.

මේ අක්‍රමවත් ක්‍රමවේදය ඉතාම ඉක්මනින් අපේ සංචාරක කර්මාන්තයට ඍජුව බලපානවා. කිසිදු ගැටලුවක් නැතිව දුවපු ක්‍රමවේදයකට තවත් බාහිර ආයතනයක් ගෙනල්ලා ඩොලර් මිලියන ගාණක් එයාලගෙ සාක්කුවලට දාගන්නෙ මේ විදියට තමා. මෙහෙම තමා එයාලගෙ රටවල් හැදිල්ල.

1 COMMENT

  1. There is a saying… “Idle Mind is a ,Devil’s Workshop”….
    So the Cabinet is Aiding the Crooks to make money ..just like the “Sugar Tax Robbery n the Garlic Robbery n so.many other incidents. The latest is the Online Visa Episode.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles