බැසිල්ගේ මහමැතිවරණ ඉල්ලීම නැවතත් ප්‍රතික්ෂේපයි

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බවට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණු පාර්ශවයට ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර ඊයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇති බව සඳහන්.

එහිදී ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන්නේද නැද්ද යන්න පිළිබඳව ජූලි මාසයේදි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද මෙම සාකච්ඡාවේදි ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ බව අදාළ ආරංචි මාර්ග පවසනවා.

මෙම වසරේ පළමුව පැවැත්වීමට නියමිත මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් ඉකුත් මාර්තු මාසයේ සිට පැවැත්වුණා.

එහිදි මහමැතිවරණය මුලින් පැවැත්විය යුතු බවට බැසිල් රාජපක්ෂ විසින් කළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරමින් කියා ඇත්තේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව මහමැතිවරණය පළමුව පැවැත්වීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම නිෂ්ඵල බැවින් ඒ පිළිබඳ අදහස අතහැර ගැනීමට බැසිල් රාජපක්ෂ ඇතුළු පාර්ශවයට සිදු වී ඇතැයි වාර්තා වෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සහය ජනාධිපතිවරයාට ලබාදෙනේද නැද්ද යන්න පිළිබඳව මෙම සාකච්ඡාවේදි එකඟතාවයකට නොපැමිණි බවද අදාළ දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles