2024ට විදේශ රැකියා සම්බන්ධව පැමිණිලි 1371ක්

2024 වසරේ ගතවූ කාලය මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීම, වලංගු රැකියා ඇණවුමක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අයකිරීම, සංචාරක වීසා මඟින් තැනැත්තන් විදේශ රැකියා සඳහා යොමුකිරීම ආදී පැමිණිලි කාර්යාංශය වෙත ලැබෙන බවයි සඳහන් වන්නේ.

මෙසේ කාර්යාංශය වෙත ලද පැමිණිලි අතුරින් පැමිණිලි 495ක් සඳහා විසඳුම් මෙම කාලසීමාව තුළදී ලබාදී ඇති අතර, පැමිණිලිකරුවන්ට රු. 53,509,520.00ක මුදලක් යළි අයකරදීමටද විමර්ශන නිලධාරීන් සමත්වී තිබුණා.

තවත් පැමිණිලි 680කට අධික ප්‍රමාණයක් සඳහා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටද කාර්යාංශය පියවර ගත් බව සඳහන් වෙනවා.

මෙම කාලය තුළ විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය හා වලංගු රැකියා ඇණවුමක් ලබානොගෙන විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකළ ආයතන 8ක් ද කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැටලීම් කර තිබුණා.

ශ්‍රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් මේ දිනවල පවතින බවත්, ඒ හා සමගාමීව විදේශ රැකියා වංචාවන්ද ඉහළ ගොස් ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් විදේශ රැකියා ජාවාරම් සම්බන්ධ වැටලීම් පුළුල් කර ඇති අතර, ජනතාවගේ පහසුව සඳහා විමර්ශන අංශයේ රාජකාරි විමධ්‍යගත කිරීමටද පියවර ගෙන තිබෙනවා.

කාර්යාංශයේ බදුල්ල, තංගල්ල, මහනුවර, කුරුණෑගල හා රත්නපුර යන විගමණික සම්පත් මධ්‍යස්ථාන මඟින් විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි විභාග කරනු ලබන අතර, සියළුම ප්‍රාදේශීය කාර්යාල මඟින් විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි භාරගනු ලබයි.

එසේම කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානය 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඇමතීම මඟින් විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි සිදුකළ හැකි අතර, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ දුරකථන අංකය වන 0112864118 ඇමතීම මඟින් නීතිවිරෝධි විදේශ රැකියා ආයතන හා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles