පොලිස් 5ක් ජීවිතාන්තය දක්වා හිරේ: තීන්දුව දෙද්දී OIC ට හාට් ඇටෑක්

කන්තලේ, භාරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනකු මරා දැමීම සම්බන්ධව එවකට එහි සේවය කළ පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ උතුරු මැද පළාත් බද පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය විසින්.

1998 වසරේ ජනවාරි 31 වැනිදා හෝ ඊට අසන්න දිනයක ත්‍රිකුණාමලය මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කන්තලේ භාරතීපුරම් හි දී මෙම වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් හදිසි නියෝග අවස්ථා විධිවිධාන පනතේ 26 (1) වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමේ අදහසින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස සිටි බවට විත්තිකරුවන්ට එරෙහිව මෙම ඝාතනයෙන් වසර 19කට පසු 2005 දී ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා.

මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූයේ කන්තලේ පොලිස් කොට්ඨාසයේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආර්.එම්. රණරාජා බණ්ඩාර, උප පොලිස් පරික්ෂක ජී.එල්. සෝමරත්න, පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රරත්න බණ්ඩාර සහ කේ.එම්. නිහාල් ප්‍රේමතිලක සහ අර්.ආර්. සෝමරත්න බණ්ඩාර මැදිවෙල යන විත්තිකරුවන්ට යි.

නිරායුධ දෙමළ වැසියන් අටදෙනා මරා දමන ලදැයි මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි භාරතීපුරම් පොලිස් ස්ථානයේ විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනකු පමණක් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙසට ද මහධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය නියෝග කළා. නිදොස් කොට නිදහස් කර මුදා හැරීමට නියෝග කෙරුණේ පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රත්න බණ්ඩාර සහ කේ.එම්. මයුරසේන යන විත්තිකරුවන් දෙදෙනායි.

වරදකරුවන් වූ මෙම පොලිස් නිලධාරීන් පස්දෙනා භාරතීපුරම් පොලිස් මුරපොළට අනුයුක්තව සේවය කළ අය වන අතර, මිනීමැරුමක් සිදුකිරීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස රැස්වීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනු ලැබුවා.

තම පොලිස් මුරපොළට පහර දීමෙන් පසු තමන් ගම සෝදිසි කළ බව චූදිත පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබුණත් පොලිස් මුරපොළට එවැනි ප්‍රහාරයක් එල්ල වී නොමැති බවයි පරීක්‍ෂණවලින් හෙළිව තිබුණා.

ඝාතන සිද්ධියෙන් පසුව ත්‍රිකුණාමලය මහාධිකරණයේ පොලිස් නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව මෙම අධිකරණ ක්‍රියාමාර්ගය මුලින්ම ගොනු කරනු ලැබුවා. නඩුවේ සැකකරුවන් අධිකරණයේ පෙනී සිටිය දී ඉන් දෙදෙනෙකු LTTE විසින් ඝාතනය කිරීමෙන් පසු නඩුව අනුරාධපුර මහාධිකරණයට මාරු කළා.

පැමිණිල්ල මෙහෙයවීමෙන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුවන් පස් දෙනෙකුට එරෙහි නඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසයි. ඉන් පසු තවත් සැකකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණා. ඉතිරි සැකකරුවන්ට චෝදනා 37ක් එල්ල කර තිබුණා.

රජයේ රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම ඇතුළු හේතු ගණනාවක් නිසා මෙම නඩු තීන්දුව දිගින් දිගටම ප්‍රමාද වුණා. එම රස පරීක්ෂණ වාර්තාව අධිකරණය වෙත ලැබී තිබුණේ 2022 දී බවයි වාර්තා වන්නේ.

සිකුරාදා (26) මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය විසින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ දී භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක ආර්.එම්. රණරාජා බණ්ඩාර හෘදයාබාධයක් හේතුවෙන් අධිකරණයේ දී ඇද වැටී ඇති බවයි කියන්නේ. පසුව ඔහු බන්ධනාගාර හා අධිකරණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ චාන්දනී හටංගල ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles