ටිරාන් ඇමතිකමෙන් ඉවත් කරනු: දැඩි ඉල්ලීමක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පසුගිය දා පවසූ කරුණත් සමඟයි.

ඔහු එහිදී කියා සිටියේ අතේ තියෙන ගිනි අවිය හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යනුවෙන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කළුතර, කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියේ දී.

මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පසුගිය 25 වෙනිදා කළ ප්‍රකාශය හෙළා දකිමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) නීතීඥ සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාත්වල අපරාධ මර්දන අංශයේ විශේෂ පුහුණුව ලත් කළුතර කටුකුරුන්ද STF කඳවුරේ නිලධාරීන්ගේ විසිර යාමේ උත්සවය අමතමින් පසුගිය බ්‍රහස්පතින්දා (25) අමාත්‍යවරයා විසින් කරන ලද මිනීමැරුම්, මත්ද්‍රව්‍ය අලෙවිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය තුරන් කිරීම ‘පාපයක් නොවේ’ යන ප්‍රකාශය තරයේ හෙළා දකින බවයි.

අමාත්‍යවරයා ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු මහජන ආරක්‍ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ද නීතිඥ මණ්ඩලය විසින් සම්මත කරගෙන තිබෙන බවයි කියන්නේ. අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි නීතිඥ සංගමය ප්‍රකාශ කර ඇත්තේ.

නීතිය හා සාමය බිඳ වැටී ඇති බව පෙන්වා දෙන නීතීඥ සංගමයේ සභාපතිවරයා පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසිය විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ බවටයි චෝදනා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles